ත‍්‍රිපෝෂ බෙදාහැරීම මාස හතරක් නැවතිලා...

 


මාස හතරකට ආසන්න කාලයක් අකර්මණ්‍ය වී තිබූ ත්‍රිපෝෂ සැපයුම් ජාලය යළි ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා ප්‍රකාශ කර සිටී. 

ඒ අනුව පසුගිය ජනවාරි මාසය තුළ බස්නාහිර පළාතේ අවශ්‍යතා සපුරාලීමට පියවර ගෙන ඇත.

ආනයනය කරන ලද බඩඉරිඟු මෙට්‍රික් ටොන් 250 ක් උපයෝගී කරගනිමින් නිපදවූ ත්‍රිපෝෂ තොග, දැනටමත් කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත යොමු කර තිබේ. 

මීට අමතරව, තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ද ත්‍රිපෝෂ නිකුත් කිරීම ආරම්භ කර ඇති බව සභාපතිවරයා තහවුරු කරයි.

බඩඉරිඟු සපයා ගැනීමේ අපහසුතාව හේතුවෙන් මේ වන විට ප්‍රමුඛතාවය ලබා දෙන්නේ ගර්භණී මව්වරුන්, කිරි දෙන මව්වරුන්, 

වයස අවුරුදු 3 ත් 5 ත් අතර පසුවන තෝරාගත් දරුවන් සඳහා පමණි.

මාස 6 ත් අවුරුදු 3 ත් අතර වයසේ පසුවන දරුවන්ට අවශ්‍ය ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා විකල්ප ක්‍රමවේදයක් ලෙස වී අලෙවි මණ්ඩලය හරහා සුදු කැකුළු සහල් ලබාගැනීමට සාකච්ඡා කර ඇත. 

මෙමගින් ඉදිරියේදී ළදරු ත්‍රිපෝෂ අවශ්‍යතාවය සපුරා ගැනීමට අපේක්ෂිතය.

Previous Post Next Post