ඉදිරි දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේ විශාල පෙරළියක් සිදු කිරීමට හැකියාව ලැබෙන බවත්, දේශීය විකිරණශීලී ඖෂධ නිෂ්පාදනය පිළිකා රෝග විනිශ්චය ඉදිරියට ගෙන යන සන්ධිස්ථානීය ජාතික මුලපිරීමක් වන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේය.
ඹහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සයික්ලොට්‍රෝන් පාදක විකිරණශීලී ඖෂධ නිෂ්පාදන විද්‍යගාරය (Cyclotron-Based Radiopharmaceutical Manufacturing Facility) විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.
ඇක්සස් මෙඩිකල් ට්‍රේසර්ස් සමාගම, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස මෙම සයික්ලොට්‍රෝන් පාදක විකිරණශීලී ඖෂධ නිෂ්පාදන විද්‍යගාරය කටුනායක ප්‍රදේශයේ ස්ථාපිත කර තිබේ.
එහි දි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“2030 වන විට වාර්ෂිකව පිළිකා රෝගීන් 23% කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. මෙම භයානක තත්ත්වයට මහුණ දීමට අප සූදානම් වී සිටිය යුතුයි. මෙරට පිළිකා රෝග විනිශ්චය කිරීමට යොදා ගන්නා PET ස්කෑන් ක්‍රමවේදයට යොදාගන්නා විකිරණශීලී ඖෂධයක් වන ෆ්ලෝරෝඩියෝඔක්සිග්ලූකෝස් (FDG) ඉන්දියාවෙන් ආනයනය කිරීමට අපට සිදු වී තිබෙනවා. මෙම විකිරණශීලී ඖෂධය නිපදවීමේ සිට පරිශීලනය දක්වා සංකීර්ණ ක්‍රියාවලියකට භාජනය වෙනවා. එම ඖෂධය ආනයන කර රෝග විනිෂ්චය සඳහා යොදාගන්නා අවස්ථාව වන විට විකිරණ ක්ෂය වීම හේතුවෙන් නිෂ්පාදනයේ දී තිබූ ඖෂධයේ සක්‍රීයතාවයෙන් 97% ක් පමණ අහිමි වෙනවා. එය රෝග විනිෂ්චයේ PET ස්කෑන් නිරවද්‍යතාව පිළිබඳ ගැටළුකාරී වෙනවා. මෙය රෝගීන් වැඩි පිරිසකට ලබා දීමට හැකිව තිබු ඖෂධය අපතේ යාමක් වගේම මුදල් නාස්තියක්. PET/CT ස්කෑන් ක්‍රමවේද සඳහා වාර්ෂිකව රෝගීන් 35000 ක් ඉල්ලුම් කළ ද පවතින ඖෂධ ගැටළුව හේතුවෙන් පරීක්ෂා කළ හැකි රෝගීන් සංඛ්‍යාව 1500 පමණ සීමා වී තිබෙනවා.”
“පිළිකා රෝගය කියන්නේ කාලය සමඟ පොරබැදීමක්. ඉක්මනින් රෝග විනිශ්චය කළ හැකිනම් ඉක්මනින් ප්‍රතිකාරවලට යොමු වී ජීවිත හානි අවම කරගන්න පුළුවන්. දේශීයව FDG නිෂ්පාදනය කිරීමෙන්, මිලි කියුරි 10 මාත්‍රාවක (10 mCi) පිරිවැය ඩොලර් 440 සිට ඩොලර් 245 දක්වා අඩු කිරීමට අපි අපේක්ෂා කරනවා. එමඟින් වඩා නිවැරදි පිළිකා රෝග විනිශ්චයක් වේගවත්ව අඩු මුදලකට ලබාදීමට හැකියාව ලැබෙනවා. වැඩි රෝගින් ප්‍රමාණයකට PET ස්කෑන් පහසුකම් සලසා දීමට හැකි වෙනවා. ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව හදාරණ විශ්ව විද්‍යාල සිසුන්ට මෙම ව්‍යාපෘතිය හරහා පුහුණුව හා පර්යේෂණ කටයුතු සඳහා පහසුකම් සැලසීමටත් හැකිවෙනවා. මේ හරහා ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේ විශාල පෙරළියක් සිදු කිරීමට හැකියාව ලැබේවි.”
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ඇක්සස් සමුහ සමාගමේ සභාපති සුමල් පෙරේරා, ඇක්සස් ඉන්ටර්නැෂනල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂමල් පෙරේරා, ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ විශේෂඥ මහාචාර්ය එම්.ආර්.අයි.පිල්ලෙයි, ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති ආචාර්ය තුෂාරා රත්නායක, හිටපු සභාපති මහාචාර්ය ආර්.ඩී. රෝසා යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ
