රට තුළ නැවත වතාවක් මතුව ඇති ගෑස් හිඟයට සහ බාල ගල් අඟුරු ආනයනයට රජයේ විනිවිදභාවයකින් තොර ගනුදෙනු සහ ටෙන්ඩර් කොන්දේසි කඩකිරීම් සෘජුවම බලපා ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
වර්තමාන ගෑස් හිඟය පිළිබඳව අදහස් දක්වමින් රණවක මහතා කියා සිටියේ, 2026 අගෝස්තු දක්වා ගෑස් සැපයීම සඳහා අලුතින් තෝරාගත් 'ජියෝ ගෑස්' (Geo Gas) නැමති ඇමරිකානු සමාගම ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය කර ඇති බවයි.
ගෑස් සැපයීමේදී කුඩා නෞකා (Tankers) 4ක් යොදාගත යුතු බවට තාක්ෂණික ඇගයීම් කමිටුව හමුවේ එකඟ වුවද, එම සමාගම දැනට යොදාගන්නේ නෞකා 2ක් පමණක් බව රණවක මහතා අනාවරණය කළේය.
දිනකට මෙට්‍රික් ටොන් 1300ක අවශ්‍යතාවයක් පවතින පසුබිමක, ප්‍රමාණවත් නෞකා සංඛ්‍යාවක් නොමැති වීම නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
මෙම ටෙන්ඩරය ඇමරිකානු සමාගමකට ලබා දීම පිටුපස රජය රටට හෙළි නොකළ රහස් ආරක්ෂක හෝ වෙළඳ ගිවිසුම් පවතින බවට ඔහු සැක පළ කරයි. විශේෂයෙන්ම ඇමරිකානු නිෂ්පාදන මිලදී ගැනීම සහ ආරක්ෂක ගිවිසුම්වලට එළඹීම වැනි කොන්දේසි මත තීරුබදු සහන ලබා දීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය ගෙන ඇති තීරණ මෙයට බලපා ඇති බව ඔහුගේ අදහසයි.
