බෞද්ධ දර්ශනය, භාෂාව ඇතුළු පෙරදිග දර්ශනය, විදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා රජය තානාපති කාර්යාල හා විදේශීය විශ්වවිද්‍යාල ඔස්සේ සාකච්ඡා ආරම්භ කරමින් සිටින බවත්, දේශීය විශ්වවිද්‍යාල තුළ බෞද්ධ අධ්‍යයනය ඇතුළු මානව හා ශාස්ත්‍රීය විෂයන්ට අදාළ, විෂයානුබද්ධ ගවේෂණ හා පර්යේෂණ කිරීමට පරිසරයක් සකස් කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 44 වන දින සැමරුමේ සමාරම්භක උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
1982 වසරේදී බුද්ධ ධර්මය, පාලි භාෂාව හා ඒ ආශ්‍රිත විෂයන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරණය කිරීම සඳහා අවශ්‍ය ගිහි, පැවිදි විද්වතුන් බිහිකිරීම අරමුණු කොටගෙන මෙම විශ්වවිද්‍යාලය ස්ථාපිත කර ඇත. බෞද්ධ දර්ශනයට අමතරව විදේශීය භාෂාවන්ද හැදෑරීමට මෙහිදී සිසුන්ට අවස්ථාව ලැබෙන අතර ජාත්‍යන්තර මෙන්ම සංස්කෘතික සම්බන්ධතා ගොඩනගමින් දේශීය මෙන්ම විදේශීය භික්ෂූන් වහන්සේලාට සහ සිසුන්ට ද ප්‍රථම උපාධියේ සිට ඉහළ මට්ටමේ පර්යේෂණ උපාධියක් දක්වා අධ්‍යාපනය නේවාසිකව හැදෑරීමට මෙයින් අවස්ථාව සැලසෙයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා කියා සිටියේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන ව්‍යුහය සකසමින්, පෙරදිග දර්ශනය දෙස් විදෙස් වශයෙන් ප්‍රචාරණය කිරීමට වල්පොල රාහුල ස්වාමීන් වහන්සේ දැක්වූ දායකත්වය අගය කළ යුතු බවයි. එසේම සැකසෙමින් පවතින උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව ශිෂ්‍යයන්ට හා අධ්‍යයන, අනධ්‍යයන නිලධාරීන්ට සම්පූර්ණ වූ යටිතල පහසුකම්වලින් හා ගුණදායී මානසික වටපිටාවකින් සමන්විත විශ්වවිද්‍යාල පද්ධතිය සැකසීම අප රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඇති සැලසුම්වල එක් අංගයක් වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
තවද විදේශීය රටවල් පෙරදිග දර්ශනය කෙරෙහි උනන්දුවක් දක්වන මොහොතක ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වැනි පෙරදිග දර්ශනය මූලික කරගත් අධ්‍යාපන රටාවක් ඇති ආයතනයන්ට යා හැකි මඟ හා යා යුතු මඟ දීර්ඝ බවත්, ඒ සඳහා සම්පූර්ණ දායකත්වය රජයක් ලෙස ලබාදීමට සූදානම් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මෙහිදී පැමිණ සිටි සංඝයා වහන්සේලා ඇතුළු පිරිස අමතමින් වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම උත්සවය සදහා හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යායයන් වහන්සේ,පීඨාධිපති ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ. එමෙන්ම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු ගිහි පැවිදි ශිෂ්‍ය ප්‍රජාව ද මීට එක්වී සිටීයහ.
