එකේ මොඩියුලයේ වැරදි ගොඩක්.. කෝවිලක් මුස්ලිම් පල්ලියක් ලෙසත් මුස්ලිම් පල්ලිය කෝවිලක් ලෙසත් නම් කරලා....



 පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ ලෙසින්ම වහාම ක්‍රියාත්මක කරන්න කියලා රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණ මේ දිනවල දිනපතා පැවැත්වෙනවා.  ඒ අතරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනෑ ඇයි කියලා ආණ්ඩුවෙන් රට පුරා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වෙනවා.  මහ පාරේත් සම්මන්ත්‍රණ වලත් ඇහෙන දේවල් වලින් අපට පේන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන අයට ඒ ගැන මෙලෝ හසරක අවබෝධයක් නෑ කියලයි.

උද්ඝෝෂකයෝ කියන්නේ එක විෂයක එක මොඩියුලයක තිබුණු එකම එක වැරැද්දක් නිසා ප්‍රතිසංස්කරණ වසරකට කල් දැමීම වැරදියි කියලා.  ඇත්තෙන්ම මේක වැරදි මතයක්.  ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල අඩුපාඩු 147ක් හඳුනා ගෙන තිබෙනවා.  ඒ අතරේ විද්වතුන්, දේශපාලකයින් සහ සමාජ ක්‍රියාකාරින් දිනපතා මේවායේ තිබෙන අඩුපාඩු පෙන්වනවා.  ඒ පෙන්වන අඩුපාඩු වෘත්තීය සමිති කියන අඩුපාඩු 147 තුල තිබෙනවා ද කියා අපි දන්නේ නෑ.  ඒවා ගුරු වෘත්තීය සමිති කියන අඩුපාඩු 147 තුල නැතිනම් අඩුපාඩු ගණන 160ත් ඉක්මවනවා.

අඩුපාඩුවකට තිබුණේ හයේ ඉංග්‍රිසි මොඩියුලයේ තිබුණු අසැබි වෙබ් සබැඳිය විතරයි කියන මතය සමාජ ගත කරන්න පාර්ලිමේන්තුවේ විපක්ෂයත් දායක වුණා කියන එක කණගාටුවෙන් වුණත් කියන්න ඕනි.  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් තිබුණා.  මුළු විපක්ෂයම කතා කලේ ඇසැබි වෙබ් අඩවිය ගැන විතරයි.  දැන් මාසයක් පුරා අසැබි වෙබ් අඩවිය ගැන සමාජගත වෙලා ඉවරයි.  අසැබිකරණය ගැන නැවත නැවත කියන්න දෙයක් නෑ.  ගුරු වෘත්තීය සමිති වලින් තිබෙන අඩුපාඩු 147න් 50ක් ඉල්ලා ගෙන විවාදයේ කථිකයින් අතර බෙදාගෙන කතා කලා නම් අර උද්ඝෝෂකයෝ තමන්ගේ දරුවන්ට දෙන්න කියලා තමන් ඉල්ලන්නේ මෙතරම් අඩුපාඩු තිබෙන එකක් ද කියලා ලැජ්ජාවටත් බියටත් පත් වෙනවා.  නමුත් ඒ විවාදය පැවැත්වුණේ උද්ඝෝෂකයින්ගේ මතය සාධාරණ වෙන විධියටයි.  විවාදය අවසානයේ ජනතාවට හිතුනේ අසැබි වෙබ් අඩවිය තිබෙන කොලය ගැලෙව්ව නිසා දැන් ප්‍රශ්නය විසඳිලා කියලා.

ජනාධිපතිතුමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දමන කොට කිව්වේ පාඩම් ඒකක අඩුපාඩු, අසම්පූර්ණ ගුරු පුහුණුව සහ තාක්ෂණික දෝෂ කියන කාරණා නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගත්තා කියලා.  එතකොට ආණ්ඩුවෙන් කරගෙන යන සම්මන්ත්‍රණ වල දී තිබුණු අඩුපාඩුව සැකසුවා.  දැන් ප්‍රශ්නයක් නෑ කියන එකෙන් පහර දෙන්නේ ජනාධිපතිතුමාට නේද?

දැන් හයේ පන්තියේ අළුත් විෂයමාලා අකුලා ගත්තත් එකේ පන්තියේ විෂයමාලා දරුවන්ට දීලා තිබෙනවා.  ඒවායේ අඩුපාඩු වලින්ම පිරිලා.  පහේ පන්තියේ දරුවෙකුට වුණත් කෝවිලයි මුස්ලිම් පල්ලියයි වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්.  නමුත් එකේ පන්තියේ ඉංග්‍රිසි මොඩියුලයක කෝවිලක් මුස්ලිම් පල්ලියක් ලෙසත් මුස්ලිම් පල්ලිය කෝවිලක් ලෙසත් නම් කරලා.  ඒ කියන්නේ එකේ පන්තියට පාඩම් ඒකක හදන්නේ පහේ පන්තියවත් සමත් අය නොවෙයි ද?  ඒ වගේම මොන්ටිසෝරි දරුවෙකුට වුණත් ආච්චිගේ ඡායාරූපය ආච්චි කියලාත් සීයාගේ ඡායාරූපය සීයා කියලත් හඳුනා ගන්න පුළුවන්.  ඒ දෙක මාරු වෙනවා කියන්නේ නව පාඩම් ඒකක හදන්න දාලා තිබෙන්නේ මොන්ටිසෝරිවත් ගිය නැති පිරිසක් කියන එකයි.

සෑම විෂයක් සඳහාම හැදෙන පාඩම් ඒකක ස්ථාන 12කින් පරික්ෂාවට ලක් වුණා කියලා ආණ්ඩුව කියනවා.  දොලොස්වතාවක් පරික්ෂා කරලත් මේ වගේ සරල අඩුපාඩු හඳුනා ගන්න බැරි නම් ඉහළ පන්තිවල බරපතල පාඩම් ඒකක හදන්න මේ ආණ්ඩුවට පුළුවන් ද කියන සාධාරණ සැකය ඇති වෙනවා.

ආණ්ඩුවේ සම්මන්ත්‍රණයක දේශිකාවක් කිව්වා,  අපි පාසල් යන කාලයේ ඉගැන්නුවේ පෘථිවිය හිරු වටා යනවා කියලා.  අපිට ඉගැන්නුවේ නැගෙනහිරින් හිරු පායනවා කියලා.  අපේ දරුවන්ටත් ඒකම උගන්වන නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා.  එතුමිය හිතා ගෙන ඉන්නේ මාලිමා ආණ්ඩුව ආව නිසා ඉර දැන් පායන්නේ බටහිරින් කියලා ද?  මාලිමා ආණ්ඩුව ආව නිසා දැන් හිරු පෘථිවිය වටා කැරකෙනවා කියලා ද?  දැන් මේ අයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බාර දුන්නොත් අපේ දරුවන්ගේ අනාගතයට මොකක් වේවිද?

එකේ පන්තියේ පාඩම්වල විතරක් වෙබ් සබැඳි 42ක් තිබෙනවාලු.  නමුත් අද බටහිර රටවල රැල්ල වෙලා තිබෙන්නේ අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරන එක.  ඒ නිසා සමාජ මාධ්‍ය හරහා පාඩම් උගන්වන්න බෑ.  ඒ සඳහා විශේෂිත වෙබ් අඩවියක් සහ ඇප් එකක් මුලින්ම ආණ්ඩුව හදලා ඉන්න ඕනි.  නව තාක්ෂණය හඳුන්වා දීමේ සීමා මොනවාද කියන එක ගැන ආණ්ඩුවට අවබෝධයක් නෑ කියන එකයි මේ හරහා ප්‍රදර්ශනය කරලා තිබෙන්නේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය නෑ කියලා අපි කවුරුත්ම කියන්නේ නෑ.  අපේ රටේ අධ්‍යාපනයට ලෝකය පුරා පිලිගැනීමක් තිබෙන්නේ කාලානුරූපීව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරපු නිසා තමයි.  නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ බරපතල වැඩක් කරන්න අවශ්‍ය දැනුම, අවබෝධය සහ අත්දැකීම මේ ආණ්ඩුවට නෑ කියන එක තමයි එක සහ හය ශ්‍රේණි වලට හදපු පාඩම් දිහා බැලුවාම පේන්නේ.  එක්කෝ මේ ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ බරපතල වැඩ කරන එක අත් හරින්න ඕනි.  නැතිනම් උද්ධච්චකම පැත්තකින් තියලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කරන්න සර්වපාක්ෂික කමිටුවක් පත් කරන්න ඕනි. එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ආණ්ඩුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන ආණ්ඩුත් ඉතිහාසය පුරාම ඉතාම සාර්ථකව අධ්‍යාපණ ප්‍රකිසංස්කරණ කරලා තියෙනවා.  එහෙම නැතිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන ගියොත් ජවිපේ කැරලි දෙකක් ගහලා රටට කරපු විනාශයට වඩා විනාශයක් මේ ප්‍රතිසංස්කරණ හරහා සිද්ධ වෙනවා කියන අනතුරු ඇඟවීම අපි ආණ්ඩුවට කරනවා.

දෙමව්පියන් පක්ෂයට වඩා දරුවන්ට ආදරෙයි නම් උද්ඝෝෂණය කරන්න ඕනි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ ආණ්ඩුවෙන් එපා කියලායි. නැතිනම් සර්ව පාක්ෂික කමිටුවක් හරහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න කියලා. අවාසනාවකට මේ උද්ඝෝෂකයෝ දරුවන්ට වඩා පක්ෂයට ආදරෙයි.  ඔය උද්ඝෝෂණ වල ඉන්න අය “අනුර සර් මේ අහන්න” කියලා සටන් පාඨ කිව්වාට ඒ අයගේ සමාජ මාධ්‍ය පරික්ෂා කලාම තිබෙන්නේ අනුර සහෝදරයා කියලා ජනාධිපතිතුමාව අමතලා. උද්ඝෝෂණ වලට නායකත්වය දෙන්නෙ පැලවත්තෙන් කියන එක මේ නිසා පැහැදිලියි.  දරුවන්ට වඩා පක්ෂය ලොකු නැතිනම් මෙතරම් අඩුපාඩු වලින් පිරුණු පාඩම් දරුවන්ට ලබා දෙන්න කියලා හිතක් පපුවක් තිබෙන දෙමව්පියන්ට කියන්න පුළුවන් ද?  සමහර උද්ඝෝෂකයෝ නම් දරුවන්ට වඩා සල්ලි වලට ආදරෙයි.  උද්ඝෝෂණයක් අවසානයේ සල්ලි බෙදා ගන්නවා අපි මාධ්‍ය තුල දැක්කානෙ.

සර්ව පාක්ෂික කමිටුවක අධීක්ෂනය යටතේ මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බැරිනම් ආණ්ඩුව රටට කරන ලොකුම සේවය තමයි බැරි වැඩ නොකර ඉන්න එක. 

3 Comments

  1. සුලුජාතියව බලෙන්ම සිංහලයන්ගේ ඇගේ ගහන්න හදනවා. සිංහලයාගේ ඉතිහාසය සූක්ෂම ලෙස අයින්කරලා.

    ReplyDelete
  2. දරුවන්ට පාඩම් වෙනුවට සුලු ජාතීන්ට ප්‍රමුකත්වය දෙන පාඩම් සින්හල දරුවන්ට හදාරන්න් දීලා. ගෑස් පෙට්‍රල් නැති උනොත් කවදහරි ලැබයි. නමුත් අරුව්න්ගෙ අනාගතේ මෙහෙම වැන සෙන්න දීල බලන් ඉන්නවා ගුරුවරු යි දෙමව්පියො යි. අරගල කල යුත්තේ මේවට.

    ReplyDelete
  3. බුදුදහම බොහොම නින්දිත විදියට ඉවත් කරලා ඒ වෙනුවට අනිත් ආගම් උගන්වන ව මේ ක්‍රමය අද බටහිර ප්‍රතික්ෂේප වෙලා හේතුව ක්‍රිස්තියානි දරුවන් සංසන්දානත්මක ආගම විශය උගන්වන ව කියලා මුස්ලිම් ආගමට ගැනීම වැඩි විම මෙක අනිත් පැත්තට වෙන්නත් පුළුවන්

    ReplyDelete
Previous Post Next Post