ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු මෙරටට ගෙන්වීම හේතුවෙන් රුපියල් මිලියන 7,672.1ක දැවැන්ත අලාභයක් සිදුව ඇති බවත්, එම පාඩුව වසන් කිරීමට උත්සාහ නොකර වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජන අරගල සන්ධානයේ සාමාජික පුබුදු ජයගොඩ මහතා රජයට බලකර සිටියි.
තම සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, මෙම අලාභය පිළිබඳ තොරතුරු ලංකා විදුලිබල මණ්ඩලය විසින්ම ඉකුත් පෙබරවාරි 19 වැනිදා පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් හා ක්‍රමෝපායික සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ලිඛිතව ඉදිරිපත් කර ඇති බවයි.
එම ප්‍රකාශය මෙසේය.
"ෆේස්බුක් එකේ ආණ්ඩුවේ ආධාරකරුවනි,
බාල ගල් අඟුරු නිසා කිසිදු පාඩුවක් සිදුවී නැතැයි තවදුරටත් ෆේස්බුක් එකේ කමෙන්ට් යුද්ධ කිරීමෙන් පලක් නැත.
සිදුවී ඇති පාඩුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් පෙබරවාරි 19 වැනිදා පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් හා ක්‍රමෝපායික සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවට සවිස්තරාත්මකව දැනුම්දී ඇත. නැව් 8ක ගල් අඟුරු ප්‍රමිතියෙන් තොරවීම නිසා සිදුව ඇති අලාභය රුපියල් මිලියන 7,672.1ක් බව මේ ලිපියේ සඳහන් වේ.
මේවා සුද්ද කිරීම පහසු නැත. වරදක් සිදුවූ බව පිලිගෙන, වරද කළ කෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාවේ යෙදවීම යහපත් දේශපාලන සංස්කෘතියක ලක්ෂණ බව අමතක නොකරන්න.
සිදුවූ පාඩුව විදුලි ගාස්තු වලට එකතුකර, ජනතාව මත පැටවීම වෙනුවට හානිපූරණය සඳහා විකල්ප සැලැස්මක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට බල කරමු."
