සිම්බාවෙන් පෙරලියක්.. ඔසියන් පරද්දයි.. ලංකාවටත් ඉදිරිය බලපෑමක...

 


විස්සයි-20 ලෝක කුසලාන තරගයෙන් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 23කින් පරාජය කරමින් කැපී පෙනෙන ජයක් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 169ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු පිලට පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 146ක් පමණි. සිම්බාබ්වේ පන්දු යවන්නන් හමුවේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අසරණ වූ අතර, මෙම ජයග්‍රහණයත් සමඟ 'B' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරළියක් ඇති වී තිබේ.

ලකුණු සටහනට අනුව, සෑම කණ්ඩායමකටම කාණ්ඩයේ වටය තුළ තරග 4 බැගින් හිමි වේ. ශ්‍රී ලංකාවට තවත් තරග 2ක් ඉතිරිව ඇත.

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ප්‍රබල ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ සමඟ තරග කිරීමට තිබේ. මින් එක් තරගයක් හෝ ජයග්‍රහණය කළහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 6ක් හිමිවන අතර, එය දෙවන වටයට සුදුසුකම් ලැබීම සහතික කිරීමට බොහෝ දුරට ප්‍රමාණවත් වනු ඇත.

දැනට ශ්‍රී ලංකාව සතු +3.125 දළ ලකුණු වේගය අනෙකුත් සියලුම කණ්ඩායම්වලට වඩා වැඩි ය. යම් හෙයකින් ශ්‍රී ලංකාව ඉතිරි තරග දෙකම පරාජය වුවද, අනෙකුත් කණ්ඩායම් ලබා ගන්නා ලකුණු මත මෙම ඉහළ ලකුණු වේගය නිසා ශ්‍රී ලංකාවට දෙවන ස්ථානය ලබා ගැනීමට අවස්ථාව තිබේ.

සිම්බාබ්වේ පිලද තරග 2ම ජයගෙන ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටින බැවින්, ඔවුන් සමඟ පැවැත්වෙන තරගය කාණ්ඩයේ පෙරමුණ තීරණය කිරීමට තීරණාත්මක වනු ඇත. 

ඕස්ට්‍රේලියාව එක් තරගයක් පරාජය වී සිටින බැවින් ඔවුන්ට ඉදිරි තරග ජයග්‍රහණය කිරීම අනිවාර්ය වී තිබේ.



Previous Post Next Post