රාජ්‍ය නිලධාරීන් සතු ව්‍යවස්ථාපිත ඉඩම් රාජකාරි ඉටු කිරීමේදී සිදුවන අහිතකර දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය (SLADA) රජය වෙත සිය දැඩි විරෝධය පළ කර සිටියි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් විවිධ අවස්ථාවලදී ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත බලපෑම් සහගත ලෙස ලිපි ඉදිරිපත් කර ඇති බවයි.
මෑතකදී නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් එන්. ටී. රුක්මල් ජයවීර මහතා විසින් යොමු කරන ලද ලිපියක් මගින්, පුද්ගලික ඉල්ලීමක් මත පදනම්ව ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස නියෝග කර තිබේ.
දේශපාලන අධිකාරිය විසින් යොමු කරනු ලබන මෙවැනි ලිපි රැගෙන පුද්ගලයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණීම මගින් ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් විනිවිද පෙනෙන තීරණ ගැනීමට බාධා එල්ල වන බව සංගමය අවධාරණය කරයි.
දේශපාලන අධිකාරිය විසින් එක් පාර්ශ්වයකට පමණක් වාසි වන අයුරින් මෙලෙස මැදිහත් වීමෙන් රජයේ යාන්ත්‍රණය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය බිඳ වැටෙන බව සංගමයේ නිරීක්ෂණය වී ඇත.
ඉදිරියේදී මෙවැනි ගැටළුකාරී තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා දේශපාලන අධිකාරිය වෙත ඉදිරිපත් වන මහජන ඉල්ලීම් සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබා ගැනීමේදී ඒවා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ නිසි නිලධාරීන් හරහා පමණක් යොමු කිරීම, දේශපාලන මැදිහත්වීම්වලින් තොරව ඉඩම් රාජකාරි ඉටු කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම SLADA සංගමය විසින් පහත යෝජනා කර තිබේ.
මෙම ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමටද එම සංගමය පියවර ගෙන ඇත.

මුන්ට පුනරුදය ඇවිල්ලා
ReplyDelete