අප සම්බන්ධතා පැවැත්වුවේ කෙහෙල්බද්දට පද්මේගේ තාත්තා එක්කයි..- ප‍්‍රසන්න රහස් පොලිසියේ..

 


රැදවුම් නියෝග මත ප‍්‍රශ්ණ කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරු කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සමඟ පවතින සබඳතා පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

ප්‍රකාශය ලබා දී පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, කෙහෙල්බද්දර පද්මේ යනු තම ගමේ අයෙකු බවත්, ඔහු දේශපාලනික වශයෙන් තමන් සමඟ සම්බන්ධ වී කටයුතු කළේ ද යන්න පිළිබඳව එහිදී විමසූ බවත්ය.

කෙහෙල්බද්දර පද්මේගේ පියා තමන් සමඟ සමීප දේශපාලන සම්බන්ධතාවක් පැවැත්වූවද, පද්මේ සමඟ තමන්ට එවැනි ලොකු සම්බන්ධයක් නොතිබූ බව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව ඒ මහතා පැවසීය.

මෙහිදී රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ හිටපු අමාත්‍යවරයා, ආණ්ඩුව මේ දිනවල සිදු කරන වැරදි වසා ගැනීමට සහ ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට දිනපතා පුද්ගලයන් ගෙන්වා මෙවැනි ප්‍රශ්න කිරීම් සිදු කරන බවට චෝදනා කළේය. 

"ආණ්ඩුවේ නොහැකියාව අද මුළු රටම තේරුම් අරන් තිබෙනවා. කියපු බොරු මිනිස්සුන්ට වැටහෙනවා. මේ වගේ තැනකට ආවම මාධ්‍ය හරහා ආණ්ඩුවේ නොහැකියාව පෙන්වන්න අපටත් හොඳ අවස්ථාවක් ලැබෙනවා," යැයි රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රාජ්‍ය සේවකයන් දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බවත්, රට පුරා විරෝධතා මතු වෙමින් පවතින බවත්ය. 

ආණ්ඩුව මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව පෙන්වා දුන් ඒ මහතා, ආණ්ඩුව නිකුත් කරන චෙක්පත් පවා අගරු වන තත්ත්වයට පත්ව ඇති බවත්, කතරගම දේවාලයේ මුදල් පවා ලබා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවත් පවසා සිටියේය.

අවශ්‍යතාවක් වුවහොත් ඕනෑම අවස්ථාවක නැවතත් පැමිණ ප්‍රකාශයක් ලබා දීමට තමන් සූදානම් බවත්, ඒ සඳහා කල්තියා දැනුම් දෙන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවත් ඔහු අවසන් වශයෙන් සඳහන් කළේය.


Previous Post Next Post