පොඩි ලැසී ඉන්දියාවෙන් මෙරටට ගෙනේ..


ඉන්දීය පොලිස්  අත්අඩංගුවට ගෙන සිටි ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන ජනිත් මධුසංඛ (පොඩි ලැසී), අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝජිත පිරිසක් විසින් මෙරටට ගෙන විත් තිබේ.

මෙරටදී අපරාධ ‌ගණනාවක් කර ඉන්දියාවට පලාගොස් සැඟවී සිටි මෙම සැකකරුව මුලින්ම කොටු කරගනු ලැබුවේ එරට ආරක්ෂක අංශ විසිනි.

සැකකරු මෙරටට රැගෙන ඒම සඳහාම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විශේෂ මෙහෙයුමක් යටතේ ඉන්දියාව බලා පිටත්ව ගියහ.

මෙම සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කරන ලද විවෘත වරෙන්තුවක් මත අවශ්‍ය කර සිටි අයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී ෆෙඩ්රික් වුට්ලර් මහතා සඳහන් කළේ මෙම සැකකරු මීටියාගොඩ සහ අම්බලංගොඩ ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන කිහිපයකට මෙන්ම දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීමට සෘජුවම සම්බන්ධ වී ඇති ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු බවයි. අද දින මෙරටට රැගෙන ආ සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගාල්ල දිශා අපරාධ කොට්ඨාශය වෙත භාරදීමට නියමිතව ඇත.

මෙම මෙහෙයුම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා, උදර්පණ නීතිය, රටවල් අතර පවතින ද්විපාර්ශ්වික එකඟතා සහ රාජ්‍යයන් අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය මත මෙම සැකකරු මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බව පැවසීය. විශේෂයෙන්ම රජයේ, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත් වීම මත ඉන්දියානු බලධාරීන් සමඟ සාකච්ඡා කර මෙම සැකකරු කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වී තිබේ.

පොලිස් සංඛ්‍යාලේඛනවලට අනුව, 2024 සිට 2026 වසර දක්වා කාලය තුළ ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන (Red Notices) නිකුත් කර සිටි සැකකරුවන් 29 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්ව ඇත. 

මීට අමතරව, රතු නිවේදන නොමැතිව, අදාළ රටවල ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම් මත පිටුවහල් කරන ලද සැකකරුවන් 14 දෙනෙකු (අද දින ගෙන්වූ සැකකරු ද ඇතුළුව) මෙරටට රැගෙන විත් තිබේ. 

මෙය පොලිස්පතිවරයා අනෙකුත් රටවල් සමඟ පවත්වන සෘජු සම්බන්ධතා සහ විශ්වාසය මත පදනම් වූවක් බවද වුට්ලර් මහතා පෙන්වා දුන්නේය.

"රටම එකට - ජාතික මෙහෙවර" වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ශක්තිමත් යාන්ත්‍රණය හරහා, විදේශගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවන් රැසක් ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය

3 Comments

  1. ජංගි සරා, රෑට ගම්මන්පිල්ලෙයාන්ල මේ දවස්වල ඉන්නෙ කැරි කාපු රිලවු වාගෙ.

    ඕවට කියන්නේ කළ හොඳ පස්සෙන් එලවනවා කියල. 🤣

    ReplyDelete
    Replies
    1. මොකක්ද මේ භාෂාව? හරිම අශිෂ්ටයි

      Delete
    2. මේක තමයි ඩයි මයින් බාසාව

      Delete
Previous Post Next Post