ආදිවාසී සංස්කෘතිය පිළිබඳ විවිධ බොරු කියා දඹාන ආදිවාසී ගම්මානය වෙත පැමිණෙන සංචාරකයන් රවටා මුදල් වංචා කිරීමේ ජාවාරම්කරුවන් පිරිසක් බිහිව ඇති බව ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිල ඇත්තෝ පැවැසීය.
වන්නිල ඇත්තන් එලෙස පැවැසුවේ ආදිවාසී ගම්මානය කේන්ද්‍ර කරගනිමින් මේ වන විට සිදුවෙමින් පවතින වංචාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මෙහිදී අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවැසීය.
“රටේ නැති බොරු කියලා මිනිස්සු රවටා ආදිවාසී සංස්කෘතිය විකුණන වංචාකාරයෝ පිරිසක් බිහිවෙලා ඉන්නවා දඹාන ආදිවාසී ගම්මානය මූලික කරගෙන. මේ රටේ වාසය කරන ආදිවාසී පරම්පරාව වසර 48000ක පමණ ඉතිහාසයක ඉඳලා පැවත එන්න පරම්පරාවක්. මේ පරම්පරාව රටේ ඉතා සුළු ප්‍රදේශ කිහිපයක බොහොම අමාරුවෙන් ආරක්ෂා කරගෙන තිබෙනවා. දැන් මේ පරම්පරාව ලොකු විනාශයකට ලක් වෙමින් තිබෙනවා. මේ සංස්කෘතිය විකුණගෙන කන පිරිසක් බිහිවෙලා තියෙනවා. ඒක මේ පරම්පරාවේ පැවැත්මට ලොකු හානියක්.
ආදිවාසී ගම්මානය නැරඹීමට රටේ විශාල පිරිසක් එනවා. විදේශිකයන් විශාල පිරිසකුත් එනවා. ඒ එන පිරිස් රටේ වැදගත් තැන් බලනවා වගේම, ආදිවාසී ගම්මානය ද දැක බලාගෙන ආදිවාසි පරම්පරාවේ ඉතිහාසය කොහොමද කියලා දැන ඉගෙන ගන්නත් තමයි ඒ අය මෙහාට එන්නේ. නමුත් ඒ එනකොට ලොකු මංකොල්ල කෑමකට ලක්කෙරෙනවා. මේ ගමේ යම් පිරිසක් විසින් පාර පෙන්වන්නම් භාෂා පරිවර්ථනය කරලා දෙන්නම් කියලා ආදිවාසි ගමට කලින්, පාරේ මාවරගල ආරණ්‍ය සේනාසනය ළඟින් එන වාහනවලට අත දික්කරලා වාහන බලෙන් නවත්තලා වාහනවලට නගිනවා. තවත් කණ්ඩායමක් දඹාන හන්දියෙන් වාහනවලට නගිනවා.
එහෙම වාහනවලට නැගලා මේ රටේ නැති බොරු කියලා මිනිස්සු රවටනවා. මිනිස්සුන්ගේ අවශ්‍යතාවය අනුව නිදහසේ මේ ගම බලන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. විශාල ලෙස මුදල් අයකරමින් බොරු කියමින් මිනිස්සු රවට්ටනවා. දිනපතා ඒ රැවටිලිවලට අසුවෙලා වංචාවන්වලට ලක්වෙච්ච මිනිස්සු ඇවිත් මට පැමිණිලි කරන ප්‍රමාණය වැඩිවෙමින් යනවා. මේ වංචාකාරයින් සැබෑ මී පැණි කියලා සීනි කලවම් කරපු පැණි විකුණනවා, වංචාකාරයන්ට ඔබ අහුවෙනවා. ආදිවාසි නැටුම් පෙන්වන්නම් කියලා ලොකු මුදලක් අය කරනවා. මේ සිදු කෙරෙන වංචාවන් මට නෙවෙයි මගේ පරම්පරාවට සිදු කරන්නේ ලොකු හානියක්. ඒ නිසා මම ඉල්ලන්නේ මේ ගමට එනවානම් මේ වගේ රැවටිලි කාරයන්ට අහුවෙන්න එපා කියන එකයි.'
මහියංගණ - රංජිත් කරුණාවීර
