විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක 'සුපිරි අට' දෙනාගේ වටයේ තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම අද කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව පිටියට පිවිසෙයි.
අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය වී තිබේ.
සුපිරි අට දෙනාගේ වටයේ සිය මංගල තරගයේදී එංගලන්තය හමුවේ ලකුණු 147ක ඉලක්කයක් හඹා යාමට නොහැකිව පසුබෑමට ලක් වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට, හෙට තරගයේදී සිය වැරදි නිවැරදි කරගැනීමට දැඩි පීඩනයක් එල්ල වී ඇත.
විශේෂයෙන්ම මන්දගාමී පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වලතාව මහනුවර පල්ලෙකැලේ පිටියේදී මැනවින් නිරාවරණය විය.
මෙවර තරගාවලියේ ඉන්දීය තණතීරුවල දක්නට ලැබුණු පිතිකරුවන්ට හිතකර ස්වභාවය ශ්‍රී ලංකාවේදී දක්නට නොලැබෙන අතර, මෙරට ක්‍රීඩාංගණ පන්දු යවන්නන්ට වැඩි සහයක් දක්වන මට්ටමක පවතී.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සීමා මායිම් විශාල වීම හේතුවෙන් හයේ පහරවල් එල්ල කිරීම ද පිතිකරුවන්ට අභියෝගයක් වනු ඇත.
එංගලන්තයට එරෙහිව එල්ල වූ දැවැන්ත පරාජයෙන් පසු ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පහරවල් තෝරාගැනීම (Shot Selection) දැඩි විවේචනයට ලක් විය. එබැවින් සමබර නවසීලන්ත පන්දු බලඇණිය හමුවේ වඩාත් විනයගරුකව පිතිකරණයේ යෙදීමට ශ්‍රී ලංකාවට සිදුවේ.
පකිස්ථානය සමඟ පැවැති තරගය වර්ෂාවට සේදී යාම නිසා නවසීලන්තයට ප්‍රසාද ලකුණු බෙදා ගැනීමට සිදු විය. නායක මිචෙල් සැන්ට්නර් මෙහෙයවන ප්‍රබල දඟ පන්දු බලඇණියක් සතු නවසීලන්තය ද සිය පළමු සුපිරි අට ජයග්‍රහණය වාර්තා කිරීමට අද දැඩි උත්සාහයක නිරත වනු ඇත.
නවසීලන්ත ආරම්භක පිතිකරුවන් වන ෆින් ඇලන් සහ ටිම් සයිෆර්ට් මූලික වටයේදී ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වූ අතර, කැනඩාවට එරෙහිව අර්ධ ශතකයක් රැස් කළ රචින් රවීන්ද්‍ර මැදපෙළ ශක්තිමත් කිරීමට සූදානමින් සිටියි.
