වතු කම්කරු වැටුප් වැඩි කිරිමත් අවුලකට.. වැඩියෙන් වැඩ කරන්නැයි සමාගම් කියති..


වතු කම්කරුවන් සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද රුපියල් 1700ක වැටුප් වැඩිකිරීම ලබා දීමේදී වතු සමාගම් විවිධ අත්තනෝමතික කොන්දේසි පනවමින් කම්කරුවන් දැඩි පීඩාවට පත් කරන බව දමිල ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී පලනි දිගම්බරන් මහතා පවසයි. 

රජය මැදිහත් වී වතු සමාගම් සමඟ සාකච්ඡා කර මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත්, සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කරගනිමින් දිවයින පුරා දැවැන්ත වැඩවර්ජනයක් හෝ උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරන බවට මන්ත්‍රීවරයා රජයට අනතුරු අඟවා සිටියි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිගම්බරන් මහතා පෙන්වා දුන්නේ, මෙම මස 10 වැනිදා සිට රුපියල් 1700ක වැටුප හිමිවන බවට රජය ප්‍රකාශ කර තිබුණද, වතු සමාගම් එම වැටුප ගෙවීම සඳහා පූර්ව කොන්දේසි පනවා ඇති බවයි. 

මින් පෙර දිනකට නෙළිය යුතු තේ දළු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 20ක් වුවද, දැන් එය කිලෝ ග්‍රෑම් 25 දක්වා ඉහළ නැංවීමට වතු සමාගම් කටයුතු කරමින් සිටින බව ඔහු අනාවරණය කළේය.

"වතු කළමනාකරුවන් තමන්ට අවශ්‍ය පරිදි කම්කරුවන්ගේ වැඩ නතර කරනවා. දැනටමත් මස්කෙළිය, අප්කොට් සහ ගවරවිල වැනි වතුවල වැඩ නතර කරලා තියෙන්නේ. වතු කම්කරුවන් ජීවත් වෙන්නේ මේ රක්ෂාවෙන් ලැබෙන මුදලින්. තේ දළු අස්වැන්න අඩු කාලෙට කිලෝ 25ක් නෙළන එක කම්කරුවන්ට කරන්න බැරි දෙයක්. එහෙම බැරි වුණාම ඔවුන්ට දෙන්නේ භාග දවසක වැටුපක්. මේ නිසා වැටුප් වැඩි කළාට කම්කරුවන්ට ඉන් වැඩක් වෙන්නේ නැහැ," යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වතු සමාගම් පාඩු ලබන බව පවසන්නේ අසත්‍යයක් බවත්, සැබවින්ම ඔවුන් විශාල ලාභයක් ලබන බවත් දිගම්බරන් මහතා මෙහිදී අවධාරණය කළේය. 

සමාගම් සැබවින්ම පාඩු ලබන්නේ නම් ඔවුන්ට වතු අතහැර යා හැකි බවත්, ඔවුන් ලාභය ගැන පමණක් සිතා කම්කරුවන් පීඩාවට පත් කරන බවත් ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් රජය වහාම වතු සමාගම් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දිය යුතු අතර, එසේ නොමැති වුවහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීම හැර වෙනත් විකල්පයක් තමන්ට ඉතිරි නොවන බව ද පලනි දිගම්බරන් මහතා වැඩිදුරටත් කියා සිටියේය

2 Comments

  1. හුටා!! ඒකත් එහෙමද
    විදුලි බිල අවුරුදු තුනකින් අඩුකරනවා වගේ මේකත් අවුරුදු පහකින් විතර දෙනව කියමු

    ReplyDelete
    Replies
    1. Ehema kiwwama hari da ? Ane pala pako yanna

      Delete
Previous Post Next Post