සුදු කොඩි අරන් එනකොට වෙඩි තියන්න කිවුවද.. පැනල යන්න උදවු කලාද..- ෆොන්සේකාගේ කතාවෙන් නාමල් Confuse

 


මහින්ද රාජපක්ෂ මිනීමරුවකු නොවන බව සරත් ෆොන්සේකා මහතාම පැවසීම ඉතා හොද කාරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජාතික සංවිධායක   පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පලකලේ මාධ්‍යවේදීන් විසින් මෑතකදී සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රකාශයක් ගැන විමසීමේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

සරත් ෆොන්සේකා මහතාට අන්දෝලනාත්මක වෙන්න පුළුවන්. හැබැයි මීට පෙර යුද්ධය පවතින අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විවෘතව මාධ්‍ය ප්‍රකාශයක් කරා, ප්‍රභාකරන්ට ඉතුරු වෙලා තියෙන්නේ ආයුධ බිම තියලා හමුදාවට බාර වෙන්න විතරයි කියලා. ඒක අලුත් කාරණයක් නෙවෙයි. තවත් පැත්තකින් සරත් ෆොන්සේකා මහත්තයා කියනවා, සුදු කොඩි අරගෙන එනකොට මහින්ද රාජපක්ෂ අහිංසක මිනිස්සුන්ට වෙඩි තියන්න අණ දුන්නා කියලා. තවත් වෙලාවක කියනවා ඒ අයට පැනලා යන්න පාරක් හැදුවා කියලා.

අපි පැහැදිලිව කියන්න ඕන, අපි සටන් කළේ දෙමළ ජනතාව එක්ක නෙවෙයි, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් එක්කයි. ත්‍රස්තවාදීන් පරාජය කරන්න මේ රටේ රණවිරුවන් දහස් ගණනක් ජීවිත පූජා කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ එකම අරමුණ වුණේ අවම හානියකින්, අවම ජීවිත ගණනක් පරිත්‍යාග කරමින් ඒ ත්‍රස්තවාදය අවසන් කිරීමයි. ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම එතුමා ගත්තා.

මම එක පැත්තකින් ස්තූතිවන්ත වෙනවා ෆොන්සේකා මහත්මයාට. මොකද ඩයස්පෝරාව, මේ ජවිපෙ ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ හිතවාදීන් කියන විදිහට මහින්ද රාජපක්ෂ ලේ පිපාසයෙන් ඉන්න, මිනී මරන්න ආස කරන කෙනෙක් නොවන බව අද ෆොන්සේකා මහත්තයා තහවුරු කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ එකම අරමුණ වුණේ ජීවිත ගණනක් නැති කරන, දේපළ විනාශ කරන රාජ්‍ය නායකයෙක් වෙන්න නෙවෙයි, මේ රටේ වැඩිම අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බේරගත්ත, නිදහස ගෙනාපු නායකයා වෙන්නයි.

ලංකා ඉතිහාසයේ බස් ගිනි තියලා, ගෙවල්, කාර්යාල, තැපැල් කන්තෝරු ගිනි තියලා, මහා සංඝරත්නය ඝාතනය කරපු රාජ්‍ය නායකයෙක් නෙවෙයි එතුමා. ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරපු, අධිවේගී මාර්ග සහ ගුවන්තොටුපළවල් හදපු, ඒ කාලේ ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට ලංකාව පත් කළ නායකයායි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉලක්කය වුණේ අවම ජීවිත හානියකින් නිදහස ලබාදීමයි. දැන් ඔය හැමෝම බල්ටි ගහන්නේ ඒ ලබා දුන් නිදහස මත හිඳගෙනයි.

ආණ්ඩුවට සම්බන්ධ බොහෝ අය මහා සංඝරත්නය දකින්නේ 'රාජපක්ෂ නිකායේ' විදිහටයි. ඒක ඒ අයගේ මානසිකත්වය. මහා සංඝරත්නයට අපහාස කිරීම ඒ අයගේ සම්ප්‍රදාය බවට පත්වෙලා තියෙනවා. ඒ නිසයි ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරු මහා සංඝරත්නයට නම කියලා ආමන්ත්‍රණය කරන්නේ. 'අපේ හාමුදුරුවනේ' කියලා කියන්නේවත් නැහැ. එදා වේදිකාවේ ඒ වචනයත් විහිළුවට ලක් කළා.

ඒ වගේම තමයි, අනෙක් ආගමික නායකයින්වත් විවේචනයට ලක් කරනවා. ඉස්ලාම්, හින්දු හෝ කතෝලික වේවා, ආණ්ඩුවට පුදුම ප්‍රශ්නයක් තියෙන්නේ මේ ආගමික නායකයෝ එක්කයි. අපි පැහැදිලිව මේ රටේ සියලු ආගම්වල ගරුත්වය ආරක්ෂා කළ යුතුයි. මේ රට බෞද්ධ රටක්, හෙළ සංස්කෘතියෙන් ගොඩනැගුණු රටක්. ඒ බෞද්ධාගම සහ සංස්කෘතිය ආරක්ෂා වීම තුළ තමයි අනෙක් සියලුම ආගම් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒක හංගන්න ඕන දෙයක් නෙවෙයි, ඒක කියන්න බය වෙන්න ඕනෙත් නැහැ.

මොකද ඒක ජාතිවාදය නෙවෙයි. ජාතිවාදය කියන්නේ උතුරට ගිහිල්ලා එක් ජාතියක් හෝ තවත් ජාතියක් විවේචනය කරලා දේශපාලන වාසි ගන්න එකටයි. මම බෞද්ධයෙක් නම් මට කොන්ද පණ තියෙන්න ඕන මම බෞද්ධයෙක් කියලා කියන්න. බෞද්ධකම හරියට ආරක්ෂා කරනවා නම් අනෙක් ආගම්වලටත් ගරු කරනවා. ආණ්ඩුවට සහ ආණ්ඩුවට සම්බන්ධ අයට අපි කියන්නේ, කරුණාකරලා ගරුතර මහා සංඝරත්නය විවේචනය කරන එක නවත්වන්න. ඒ හරහා ඔබ ඉටු කරන්නේ රට දෙකඩ කරන්න සහ ආගම් අතර අර්බුද ඇති කරන්න උත්සාහ කරන අන්තවාදීන්ගේ අවශ්‍යතාවය මිස, ජනතාවට කරන සාධාරණයක් නෙවෙයි.

1 Comments

  1. ගොන්සේකා සූත්තියක් ඇදපු වෙලාවට කියන කුනුහරුප  වලට උත්තර දෙන්ඩ යනඑකත් මෝඩකමක්.

    ReplyDelete
Previous Post Next Post