GMOA වර්ජනයෙන් කිසිම රෝහලක් අඩපණ වී නෑ..- විශේෂඥ වෛද්‍යවරුන්


දිවයිනේ කිසිදු පර්යන්ත රෝහලක සේවාවන් අඩපණ වී නොමැති බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ අසාර්ථකභාවය වසන් කර ගැනීමට අසාර්ථක උත්සාහයක නිරත වන බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු අවධාරණය කරයි.

නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නිර්වින්දන නිලධාරියෙකු සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ලබාගත් විශේෂ "ආවරණ රාජකාරි" ලිපියක් මගින් රෝහල් තුනක සේවය ආවරණය කරන බව පෙන්වීමට උත්සාහ කළද, එම රෝහල්වල සාමාන්‍ය තත්ත්වයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව වාර්තා වේ. 

මෙම මතභේදාත්මක ආවරණ රාජකාරි ලිපිය සහ ඒ පිටුපස ඇති සැබෑ තත්ත්වය පිළිබඳව ඉදිරියේදී විශේෂ හෙළිදරව්වක් සිදු කරන බව නැගෙනහිර පළාතේ විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රකාශ කර සිටියේය.

දිවයින පුරා දැනට ක්‍රියාත්මක වන සෙසු ආවරණ රාජකාරීන් පිළිබඳව අදහස් දක්වමින් එම සංගමය පෙන්වා දෙන්නේ, ඒවා සේවයේ අවශ්‍යතාවය මත සහ අදාළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම පරිදි ලබාදුන් නිල රාජකාරීන් මිස ස්වේච්ඡා සේවාවන් නොවන බවයි. අදාළ සියලුම නිලධාරීන් එම සේවාවන්හි නිසි පරිදි නිරත වූ බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය අමනෝඥ එකක් බවත්, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් වැඩි පිරිසක් එයට සහාය පළ කර නොමැති බවත් එම සංගමය අවධාරණය කරයි.

 මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දීර්ඝ වශයෙන් කරුණු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

Previous Post Next Post