අප කිවු විදිහට නොකලේ ඇයි..- IMF ලක් රජයෙන් අහයි..


ලංකා විදුලිබල මණ්ඩලය නියමිත වේලාවට සිය විදුලි ගාස්තු සංශෝධන යෝජනා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව, ලංකා විදුලිබල මණ්ඩලය සැමවිටම පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් මණ්ඩලයේ ප්‍රමාදය හේතුවෙන් මෙවර ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සිය ගාස්තු සංශෝධන යෝජනාව 2025 නොවැම්බර් 14 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස විදුලිබල මණ්ඩලයට උපදෙස් දී තිබුණි. 

කෙසේ වෙතත්, මණ්ඩලය එය ඉදිරිපත් කර ඇත්තේ නියමිත කාල සීමාව ඉක්මවා යමින් 2025 දෙසැම්බර් 29 වන දිනදීය. එමෙන්ම එම වාර්තාවේ දෝෂ සහ අඩුපාඩු පැවති බවද අනාවරණය වේ.

එහි පවතින දෝෂ නිවැරදි කර 2026 ජනවාරි 08 වන දිනට පෙර නැවත ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව දැනුම් දුන්නද, විදුලිබල මණ්ඩලයට එම කාලය තුළ සම්පූර්ණ කරන ලද නිසි යෝජනාවලියක් ලබා දීමට නොහැකි වී ඇත.

ඉවාන් පැපගේෝජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පසුගිය ජනවාරි 22 සිට 28 දක්වා මෙරට සංචාරයක නිරත විය.

සුළි කුණාටුවෙන් සිදුවූ බලපෑම පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, විදුලිබල මණ්ඩලය සිය යෝජනා නියමිත වේලාවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්ද නියෝජිතයින් විමසා ඇත.

මෙහිදී මූල්‍ය අරමුදල වෙත සහතික වී ඇත්තේ මීළඟ ගාස්තු සංශෝධන යෝජනාව නියමිත කාලසීමාව තුළ ලබා දීමට කටයුතු කරන බවයි. 

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2026 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 11.57ක විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා තිබුණි.

3 Comments

  1. මං හිතන්නේ ඉංගිරිසියෙන් කියපු දේ හරියට තේරිලා නැතිව වෙන මගුල් කරල

    ReplyDelete
    Replies
    1. එහෙම නැත්නම් තම ස්වාමියා කවුද කියා නොදන්නාකම වෙන්න ඇති

      Delete
    2. 🤪🤪🤪🤪🤪🤪

      Delete
Previous Post Next Post