ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරයත් සමඟ ලොව වඩාත්ම තීරණාත්මක බලශක්ති මංසන්ධියක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් සැපයුමට බාධා එල්ල වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.
මෙම තත්ත්වය හමුවේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 95 සිට 110 දක්වා ඉහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
ඉරානය දිනකට බොරතෙල් බැරල් මිලියන 3.3ක් පමණ නිෂ්පාදනය කරන අතර එය ගෝලීය සැපයුමෙන් සියයට 3ක් පමණ වේ. ඉරානය මෙම සැපයුම අඩාල කිරීමට පියවර ගතහොත්, සැපයුම් කම්පනය හේතුවෙන් බොරතෙල් මිල සියයට 9 සිට 15 දක්වා ප්‍රමාණයකින් ඉහළ යාමට ඉඩ ඇත.
දැනට ඩොලර් 70ක පදනම් මිලක පවතින බැරලයක මිල, සැපයුම් අහිමි වීම නිසා පමණක් ඩොලර් 76-81 දක්වා ඉහළ යා හැකි වුවද, භූ-දේශපාලනික අවදානම හේතුවෙන් එය ඩොලර් 110 සීමාව ඉක්මවා යා හැකි බව එම වාර්තාව පෙන්වා දෙයි.
ලොව මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරන තෙල් සහ දියර ස්වභාවික වායුවලින් (LNG) සැලකිය යුතු ප්‍රමාණයක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි.
ඉරානය විසින් මෙම මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීම වෙනුවට, නෞකා පරීක්ෂා කිරීම, ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණය කිරීම හෝ නාවික අභ්‍යාස මගින් ගමනාගමනයට බාධා පැනවීම වැනි ක්‍රියාමාර්ග හරහා රක්ෂණ සහ ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කළ හැකි බව "ක්‍රයිසිස් ගෲප්" පවසයි.
වර්තමාන තත්ත්වය මැදපෙරදිග කලාපය තුළ ඇමරිකානු හමුදාමය වත්කම් ස්ථානගත කිරීමත් සමඟ දැනටමත් තෙල් මිල සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇත.
යම් හෙයකින් මෙම සමුද්‍ර සන්ධිය දීර්ඝ කාලීනව වසා දැමුවහොත්, එය ගෝලීය බලශක්ති වෙළෙඳාමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති අතර, ඒ සඳහා ඇමරිකාව ප්‍රමුඛ නාවික හමුදාමය ප්‍රතිචාරයක් ද එල්ල වීමට ඉඩ ඇති බව වාර්තාවල සඳහන් වේ.
