දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ වුවද, පාරිභෝගික ජනතාවට බාධාවකින් තොරව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය නිවේදනය කරයි.
27 වනදා එම මධ්‍යස්ථානය නිකුත් කළ දත්තවලට අනුව, රටේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 51% ක් (ගිගාවොට් පැය 675 ක්) තවමත් සපුරා ගනු ලබන්නේ ජල විදුලිය මගිනි.
ප්‍රධාන ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම යම් ප්‍රමාණයකින් පහත බැස ඇතත්, සමස්තයක් ලෙස ජලාශවල ජල ධාරිතාව තවමත් 75% ක මට්ටමක පවතී.
කෙසේ වෙතත්, ඉදිරි මෝසම් වැසි කාලය ආරම්භ වන තෙක් පවතින ජල සංචිත ඉතා අරපිරිමැස්මෙන් කළමනාකරණය කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
පෙබරවාරි සිට අප්‍රේල් දක්වා පවතින වියළි කාලගුණය හේතුවෙන් දෛනික විදුලි ඉල්ලුම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
පසුගිය සඳුදා මෙරට ඉතිහාසයේ ඉහළම විදුලි ඉල්ලුම ලෙස මෙගාවොට් 3,089 ක් (ගිගාවොට් පැය 60.56 ක්) වාර්තා විය.වර්තමානයේ දෛනික ඉල්ලුම අඛණ්ඩව මෙගාවොට් 3,000 - 3,050 සීමාවේ පවතී.
ජල විදුලියෙන් සපුරා ගැනීමට නොහැකි අතිරික්ත ඉල්ලුම වෙනුවෙන් ගල් අඟුරු, නැප්තා, දැවිතෙල් සහ ඩීසල් යොදා ගනිමින් තාප විදුලි ජනනය උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක වේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව, සමස්ත විදුලි ජනනය සහ බෙදා හැරීමේ වගකීම නැෂනල් සිස්ටම් ඔපරේෂන් (National System Operation) පෞද්ගලික ආයතනය විසින් දරනු ලබයි.
