පසුගිය පෙබරවාරි සහ මාර්තු මාසය අතර කාලසීමාව තුළ ලොව පුරා ඉන්ධන මිල ඉහළ ගිය රටවල් අතර ඉහළම ප්‍රතිශතයක් වාර්තා කළ රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී තිබේ.
මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙලෙස ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ ගොස් ඇත.
ලොව පුරා රටවල් 150කට අධික සංඛ්‍යාවක ඉන්ධන මිල ගණන් නිරීක්ෂණය කරන GlobalPetrolPrices.com දත්ත ඇසුරෙන් AFP පුවත් සේවය නිකුත් කළ නවතම ප්‍රස්ථාරික දත්ත සටහනකට අනුව, 2026 පෙබරවාරි 23 සිට මාර්තු 23 දක්වා වූ දින 30ක කාලය තුළ ශ්‍රී ලංකාවේ පෙට්‍රල් මිල 34% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.
මාසයක් වැනි කෙටි කාලයක් තුළ පෙට්‍රල් මිල 34% කින් ඉහළ යාම හේතුවෙන්, ලොව වැඩිම බලපෑමට ලක්වූ රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවේ.
පිලිපීනය, කාම්බෝජය, නයිජීරියාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් ද මෙම කාලසීමාව තුළ ඉහළ මිල වැඩිවීම් වාර්තා කර ඇත.
මාර්තු 23 වන විට ලොව ඉහළම පෙට්‍රල් මිල හොංකොං රාජ්‍යයෙන් (ලීටරයක් ඇමරිකානු ඩොලර් 3.0 ට වඩා වැඩි) වාර්තා වන අතර, වෙනිසියුලාව, ඉරානය සහ සෞදි අරාබිය වැනි රටවල මිල අවම මට්ටමක පවතී.
මේ වන විට ලොව රටවල් බොහොමයක පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 1.0 ත් 2.0 ත් අතර අගයක පවතින බව දත්ත පෙන්වා දෙයි.

