මෙරට සංචාරක ක්ෂේත්‍රය වසරේ මුල් මාස දෙක තුළ අත්කරගත් වර්ධනයට, මාර්තු මස ආරම්භයේදී කිසියම් බාධාවක් එල්ල වී ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.
මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ගුවන් කලාපයන් වසා දැමීමයි.
මේ නිසා ගුවන් ගමන් වාර අක්‍රමවත් වීම සංචාරක පැමිණීම කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කර තිබේ.
2026 වසරේ මුල් කාර්තුව ආරම්භ වූයේ ඉතා ඉහළ සංචාරක ආකර්ෂණයක් පෙන්වමිනි. ජනවාරි මාසයේදී 277,327 දෙනෙකු සහ පෙබරවාරි මාසයේදී 279,328 දෙනෙකු මෙරටට පැමිණි අතර, එය ශ්‍රී ලංකා ඉතිහාසයේ මාසිකව වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම් වේ.
සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වලට අනුව, මාර්තු මාසයේ මුල් දින හතර තුළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 23,116 දෙනෙකු පමණි. මෙහිදී විශේෂත්වය වන්නේ මාර්තු 02 වන දින පමණක් සංචාරකයින් හයදහස ඉක්මවා පැමිණ තිබීමයි. සෙසු දිනවල එම අගය ඊට වඩා අඩු මට්ටමක පැවතුණි.
පෙර මාස දෙක හා සසඳන විට මෙම පහත වැටීම කැපී පෙනෙන්නකි. ජනවාරි සහ පෙබරවාරි මාස පුරාම දෛනිකව අටදහසකට වඩා අඩු පිරිසක් පැමිණ තිබුණේ දින තුනකදී පමණි. එහෙත් මාර්තු මස මුල් දින කිහිපය තුළ දෛනික පැමිණීම සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇති බව පෙනී යයි.
