ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සැපයීමේ ගැටලු පවතින බවටත්, ඒ හේතුවෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවටත් පළ වන වාර්තා පදනම් විරහිත බව බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, විශේෂයෙන්ම එළඹෙන අප්‍රේල් මාසය ආශ්‍රිතව විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවට ඇතැම් මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
බලාගාරයේ අනාගත මෙහෙයුම් සඳහා ඇණවුම් කර ඇති ගල්අඟුරු නෞකා 36න් නෞකා 22ක් මේ වන විටත් ගොඩබා අවසන්ය.
බලාගාරයේ කටයුතු දැනට කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ලබයි.
ඉතිරි ගල්අඟුරු තොග ද අඛණ්ඩව සැපයීමට අදාළ සැපයුම්කරු බලධාරීන් වෙත සහතික වී ඇත.
යම් හදිසි අවශ්‍යතාවක් මතු වුවහොත් ඒ සඳහා අවශ්‍ය අතිරේක ගල්අඟුරු තොග ලබා ගැනීමට ද මූලික පියවර ගෙන තිබේ.
විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය දැවෙන තෙල් (Furnace Oil) තොග ද අප්‍රේල් මස අවසානය දක්වා ප්‍රමාණවත් පරිදි පවතී.
මේ අනුව, රටේ විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවට සහතික වන අමාත්‍යාංශය, මෙවැනි අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
