බොරතෙල් ඩොලර් දෙසීය වෙයිලු..


ඉරානය සමඟ පවතින යුද්ධය හේතුවෙන් ලෝක ආර්ථිකය දශක කිහිපයකින් පසු දරුණුතම තෙල් කම්පනයට මුහුණ දෙමින් සිටින බවත්, එහි දරුණුතම ප්‍රතිවිපාක ඉදිරි කාලය තුළ එල්ල විය හැකි බවත් ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි.

දැනට පවතින ඉන්ධන මිල ඉහළ යාම ආරම්භයක් පමණක් බවත්, ඉදිරි සති සහ මාස කිහිපය තුළ මෙහි සැබෑ බලපෑම ගෝලීය ආර්ථිකයට දැනෙනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි. 

බෲකිංග්ස් ආයතනයේ බලශක්ති ආරක්ෂණ සහ දේශගුණ අධ්‍යක්ෂ සමන්තා ග්‍රොස් පවසන්නේ, වෙළඳපල තවමත් යුද්ධයේ බලපෑම අවතක්සේරු කරමින් සිටින බවත් යුද්ධය අවසන් වූ සැණින් සියල්ල යථා තත්ත්වයට පත්වනු ඇතැයි සිතීම වැරදි බවත්ය.

පසුගිය සතියේ ගෝලීය බොරතෙල් මිල දර්ශකයක් වන බ්‍රෙන්ට් බැරලයක මිල ඩොලර් 119 දක්වා ඉහළ ගිය අතර, එය 2022 වසරෙන් පසු වාර්තා වූ ඉහළම මිල අගයයි. 

යුද්ධය දිග්ගැස්සුනහොත් හෝ ඉරානයේ අපනයන මධ්‍යස්ථානවලට හානි වුවහොත්, කෙටි කාලීනව තෙල් බැරලයක මිල ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ලෝකයේ තෙල් සහ ස්වාභාවික වායු ප්‍රවාහනයෙන් 20%ක් සිදුවන ප්‍රධානම මාවත වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා නෞකා ගමනාගමනය බරපතල ලෙස අඩාල වී ඇත. 

මීට පෙර දිනකට නෞකා 100කට වඩා ගමන් කළ මෙම සමුද්‍ර සන්ධිය හරහා දැනට ගමන් කරන්නේ නෞකා පහකටත් වඩා අඩු ප්‍රමාණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත පෙන්වා දෙයි. 

ඉරානය මෙම මුහුදු මාර්ගයේ පාලනය දැඩි කරමින් සිටීම හේතුවෙන් මිලියන සංඛ්‍යාත තෙල් බැරල් ප්‍රමාණයක් ගෝලීය වෙළඳපලට ගෙනයාමට නොහැකිව සිරවී පවතී.

මෙම තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය පෙට්‍රල් මිල ගැලුමකට ඩොලර් 3.99 දක්වා ඉහළ ගොස් ඇති අතර, යුද්ධයට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව පාරිභෝගිකයින් ඉන්ධන සඳහා අමතර ඩොලර් බිලියන 10ක් වැය කර ඇතැයි ගණන් බලා තිබේ.

ඉහළ යන තෙල් මිල හේතුවෙන් ප්‍රවාහන, නිෂ්පාදන සහ ඇසුරුම් පිරිවැය ඉහළ යාම නිසා උද්ධමනය ද ඉහළ යමින් පවතින බව මූඩිස් (Moody’s) ආයතනය පෙන්වා දෙයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙළඳපල ස්ථාවර කිරීමට උත්සාහ කළද, ඔහුගේ ප්‍රකාශයන් පරස්පර විරෝධී ස්වභාවයක් ගන්නා බව විචාරකයෝ පවසති. 

ඉරානය සමඟ එකඟතාවයකට පැමිණිය හැකි බව ඔහු පවසන අතරම, ගිවිසුමක් ඇති කර නොගතහොත් ඉරාන තෙල් පිරිපහදු මධ්‍යස්ථාන විනාශ කරන බවටද ඔහු අනතුරු අඟවා ඇත.

බලශක්ති යටිතල පහසුකම්වලට සිදුවී ඇති හානිය හේතුවෙන් යුද්ධය හෙට අවසන් වුවද, බලශක්ති සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි බලශක්ති විශේෂඥයන් පවසයි

5 Comments

  1. බොරතෙල් ඩොලර් පන්සීයවුනත් අපි මාලිමාවට

    ReplyDelete
    Replies
    1. අපි වහල්ලු!

      Delete
    2. කෝ බන් අර තෙල් රුපියල් 500 ගියත් අපි මාලිමවට කියයපු බුරුවො

      Delete
  2. වහල්ලුන්ට වහල් වීමහැර විකල්පයක් නැත.

    ReplyDelete
  3. "පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සොයායෑම" ග්‍රන්ථය එලිදැක්වීමේ සජීව විකාශනය දැන් යූටියුබ් එකේ නරඹන්න.

    ReplyDelete
Previous Post Next Post