පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ යේමනයේ ඉරාන හිතවාදී හූති සටන්කාමීන් විසින් දකුණු ඊශ්‍රායලයේ බීර්ෂෙබා නගරය සහ ඒ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරයත් සමඟ ඊශ්‍රායලයේ දකුණුදිග කලාපය පුරා අනතුරු ඇඟවීමේ සිරේන් නාද නිකුත් වූ බව වාර්තා වේ.
ඊශ්‍රායල හමුදා බලධාරීන් ප්‍රකාශ කර සිටින්නේ යේමනයේ සිට දියත් කරන ලද මෙම මිසයිලය හඳුනාගෙන ඇති අතර, එය මධ්‍යස්ථ කර විනාශ කර දැමීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.
වත්මන් යුද තත්ත්වය තුළ හූති කණ්ඩායම විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද පළමු ප්‍රහාරය මෙය ලෙස සටහන් වේ.
පසුගිය 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව, 2023 නොවැම්බර් මාසයේ සිට හූති සටන්කාමීන් ඊශ්‍රායලයට සහ මුහුදු කලාපයේ නාවික ගමනාගමනයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළහ.
"ඇමරිකාවට මරණය, ඊශ්‍රායලයට මරණය සහ යුදෙව්වන්ට ශාප වේවා" යන්න තම පාඨය කරගත් මෙම කණ්ඩායම, ගාසා යුද්ධය පැවති සමයේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර දුසිම් ගණනක් ඊශ්‍රායලයට එල්ල කර තිබුණි.
කෙසේ වෙතත්, 2025 ඔක්තෝබර් මාසයේදී හමාස් සංවිධානය සමඟ ඇති කරගත් සටන් විරාමයෙන් පසුව හූති කණ්ඩායම ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටි අතර, මෙම නව ප්‍රහාරයත් සමඟ ඔවුන් නැවතත් යුදමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇති බව පෙනී යයි.
මෙම ප්‍රහාරයට අමතරව කලාපය පුරා තවත් නොසන්සුන්කාරී සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇත. ඊශ්‍රායලයේ උතුරුදිග නගරයක් වන සෆෙඩ් ඇතුළු ප්‍රදේශ කිහිපයක රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඉරානය විසින් එල්ල කරන ලද කෲස් මිසයිල, බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහන නෞකාවලට ගමන් කිරීමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් තායිලන්ත අගමැතිවරයා ඉරානය සමඟ එකඟතාවකට පැමිණ ඇති බව ද වාර්තා වේ.
මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් දැඩි අවදානම් අඩියකට පත්ව ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
