ජනසවිය, සමෘද්ධි දරිද්‍රතාවය තුරන් කිරීමට සමත් වී නෑ... ප‍්‍රජා ශක්ති එසේ නොවෙයි..

 


පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම අරමුණු කරගත් 'ප්‍රජා ශක්ති' ජාතික ව්‍යාපාරය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ දිස්ත්‍රික් වැඩසටහනක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න හා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පුත්තලම, මාදම්පේ සමුපකාර රඟහල ශාලාවේදී පැවැත්විණි.

ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම පදනම් කරගත් ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය පිළිබඳවත් එහි මූලික අරමුණු, ඉදිරි ක්‍රියාකාරීත්වය සහ ග්‍රාමීය මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති හඳුනාගෙන ඒවා සාර්ථකව ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳවත් මෙහිදී නිලධාරීන්ව දැනුවත් කෙරිණි. විශේෂයෙන් ම ව්‍යාපෘති වාර්තා සකස් කිරීමේ සිට ඒවා ප්‍රායෝගික යථාර්ථයක් වනතුරු ක්‍රියාත්මක කිරීම දක්වා වූ ක්‍රියාවලිය හරහා ග්‍රාමීය දරිද්‍රතාවය පිටුදැකීමට ඇති හැකියාව මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම වැඩසටහන අමතමින් අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේ පුත්තලම දිස්ත්‍රික්කය සම්පත් අතින් පොහොසත් වුව ද, ජනතාවගේ ජීවන තත්ත්වය තවමත් සතුටුදායක මට්ටමක නොමැති බවයි. එම තත්ත්වය වෙනස් කිරීම රජයේ ප්‍රමුඛතම අරමුණ බව ඒ මහතා පැවසී ය.

වැඩිදුරටත් දැක්වූ අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

"අතීතයේ ක්‍රියාත්මක වූ ජනසවිය, සමෘද්ධි වැනි වැඩසටහන්වල පරමාර්ථ යහපත් වුවත්, ජනතාව සැබෑ ලෙසම ශක්තිමත් කිරීමට හෝ දරිද්‍රතාවය තුරන් කිරීමට ඒවා සමත් වූයේ නැහැ. අපි සමස්ත ප්‍රජාවක් ලෙස දරිද්‍රතාවය තුරන් කිරීමට මෙතෙක් අසමත් වී තිබෙනවා.

පුරවැසියෙකු සහ අමාත්‍යවරයෙකු ලෙස මම විශ්වාස කරන්නේ, දිළිඳුකම පිටුදකින මෙවැනි සංවර්ධන වැඩසටහන්වල අවසාන වැඩසටහන මෙය විය යුතු බවයි. අනාගත පරපුරට යහපත් සමාජයක් උරුම කර දීමට නම් අප මෙම ව්‍යාපෘතිය අනිවාර්යයෙන්ම සාර්ථක කරගත යුතුයි."

"ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම අපට කළ හැකි වුවත්, මහ පොළොවේ පවතින සැබෑ යථාර්ථය හඳුනාගෙන ජනතාව සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමේ මහා වගකීම පැවරෙන්නේ ගමේ සිටින රාජ්‍ය නිලධාරීන්ටයි."

2025 වසර සඳහා රජය ඉදිරිපත් කර ඇති ප්‍රධාන වශයෙන් 'ක්ලීන් ශ්‍රී ලංකා', ඩිජිටල්කරණය සහ දරිද්‍රතාවය තුරන් කිරීම යන වැඩසටහන් තුන ආරම්භ වූ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මගපෙන්වීම යටතේ විශේෂ වැඩසටහන් රාශියක් ආරම්භ කර තිබේ. එලෙස ජනතාවගේ ජීවන තත්ත්වය සතුටුදායක ලෙස වෙනස් කරමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම අරමුණු කරගත් 'ප්‍රජා ශක්ති' ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක වේ. ජනතාව ඉල්ලා සිටි 'ක්‍රම වෙනස' (System Change) ඇති කිරීමට නම් ආර්ථිකය මෙලෙස ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයාන් ජනක කුමාර, මොහොමඩ් ෆයිසල්, අජිත් ගිහාන් යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය මහජන නියෝජිතයින්, පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු සියලු ම ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ හා දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජා නායකයින් විශාල පිරිසක් එක්ව සිටිය හ.

Previous Post Next Post