අසල්වැසි රටවල සිට අපට පහර නොදෙන තාක් අප පහර දෙන්නේ නෑ..- ඉරානය ඇමරිකාව මුහුදට සීමා කරමින්..


එක්සත් ජනපදය සහ ඉස්රායලය විසින් දියත් කරන ලද යුද ක්‍රියාවලියට ප්‍රතිචාර වශයෙන් ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් පීඩාවට පත් අසල්වැසි රටවලින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමාව අයැද සිටී
.

අදාළ රටවල් තුළින් ඉරානයට එරෙහිව ප්‍රහාරයක් එල්ල නොවන තාක් කල්, එම රටවල් ඉලක්ක කරගනිමින් ඉදිරියට ප්‍රහාර එල්ල නොකරන බවට ද ජනාධිපතිවරයා සහතික විය.

ඇමරිකානු සහ ඉස්රායල ඒකාබද්ධ යුද මෙහෙයුම් හමුවේ ඉරානය දියත් කළ දරුණු ප්‍රතිප්‍රහාර මාලාව මේ වන විට දෙවන සතියට එළඹ ඇත. ඉරාන අන්තර්කාලීන පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නව තීරණය පිළිබඳව ජනාධිපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

එක්සත් ජනපද හමුදා කඳවුරු සහ දේපළ පිහිටා තිබීම හේතුවෙන් සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, බහරේනය සහ ඕමානය යන ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) සියලුම රටවල් ඉරාන ප්‍රහාරවලට ලක්විය. මීට අමතරව ඉරාකය, ජෝර්දානය, අසර්බයිජානය සහ තුර්කිය ද මෙම ගැටුම්කාරී තත්ත්වයේ සෘජු බලපෑමට නතු විය.

මෙම ප්‍රහාර හේතුවෙන් ගල්ෆ් කලාපයේ සිවිල් මරණ වාර්තා වූ අතර, ගුවන් ගමන් අත්හිටුවීම සහ ගුවන් සීමා වසා දැමීම හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.

ගල්ෆ් කලාපයේ තෙල් සහ ගෑස් නිෂ්පාදනයට එල්ල වී ඇති බාධාවන් සමස්ත ලෝක වෙළඳපොළටම බලපා ඇති බව කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි පවසයි. "Financial Times" පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු අනතුරු ඇඟවූයේ මෙම යුද්ධය තවදුරටත් උත්සන්න වුවහොත්, සති කිහිපයක් ඇතුළත කලාපීය බලශක්ති අපනයනය සම්පූර්ණයෙන්ම නතර විය හැකි බවයි.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමගම ජාත්‍යන්තර යුධ විශ්ලේෂකයන් අදහස් පළ කරමින් නැත්තේ අරාබි කලාපය තුළ ඊශ්‍රායලය හැරුණු විට වෙනත් රටවල් වලට දැන් ඇමෙරිකානු ගොඩබිම් කඳවරු ස්ථානගත කිරීමට හැකියාවක් නොමැති වනු ඇති බවය.

ඒ අනුව අධි වියදමක් දරමින් සාගරයේ සිට හෝ යුරෝපා රටවල සිට ගුවන් මගින් මෙම ප්‍රහාර මාලාව දිගටම පවත්වාගෙන යාමට සිදුවනු ඇති බවද ඔවුන් පෙන්වා දෙති



Previous Post Next Post