සෞඛ්‍ය සේවාවට ඉන්ධන ඉල්ලයි..

 


රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

සෞඛ්‍ය සේවාවේ ගැටලු විසඳිම වගකිවයුත්තන් පැහැර හරින පසුබිමක උද්ගත වී ඇති ඉන්ධන අර්බුදය හමුවේ රෝහල් පද්ධතියේ අනාගතය.

රට තුල පවතින ඕනෑම අර්බුදකාරි අවස්ථාවකදී වුව ද රෝහල් පද්ධතිය සහ එහි පාර්ශවකරුවන් ආරක්ෂා කරමින් අවශ්‍ය මූලික පහසුකම් සපයමින් නිදහස් සෞඛ්‍ය සේවාවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම ඕනෑම රජයක අත්හල නොහැකි වගකීමකි.

රෝහල් පද්ධතිය සහ වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටලු විසඳීම සඳහා යෝජනා සහ ඉල්ලීම් ඉදිරිපත් කර ඒවා ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් කාලයක් සහ සහයෝගය වගකිවයුත්තන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබා දෙන ලදී.

එහෙත් එම ගැටලු විසඳීමට මූලික පියවර දියත් කිරීමට හෝ සාකච්ඡාවන් ආරම්භ කිරීමටවත් වත්මන් රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යංශය පසුබට වීම තුල ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගතය සුරක්ෂිත කිරීමට බල කරමින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදු විය. ඒ අනුව පසුගිය ජනවාරි මස අවසන් සතියේ සිට පියවර වශයෙන් ආරම්භ කරන ලද දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ග 08 ක් මේ වන විට ක්‍රියාත්මක වේ.

මෙහිදි රෝහල් පද්ධතිය සහ මහජන සෞඛ්‍ය පද්ධතියට අදාල වෘත්තීය ක්‍රියා මාර්ග ගණනාවක් ක්‍රියාත්මක වන අතර මේ වන විට දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතියක් බවට පත් කරගෙන ඇති '' ආරෝග්‍යා" ව්‍යාපෘතියේ සෞඛ්‍ය සායන ඇතුලු සියලුම කටයුතු වලින්ද වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස වෛද්‍යවරුන් ඉවත්ව සිටියි.

රෝහල් පද්ධතිය සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු විසඳීම පසෙකලා වෛද්‍යවරුන්ට අපවාද සහ මඩ ප්‍රහාර එල්ල කරමින් අත්තනෝමතික සහ උද්දච්ච ලෙස හැසිරීම තුල රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්නුම් කරනු ලබන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ වගකීමෙන් ඔවුන් මඟ හරින බවයි.

ඒ අතරතුර රට තුල උද්ගත වී ඇති ඉන්ධන සහ බලශක්ති අර්බුදය හේතුවෙන්ද සෞඛ්‍ය පද්ධතිය තවත් ගැටලුකාරි තත්ත්වයකට තල්ලු වී යන ආකාරයක් නිරීක්ෂණය වේ.

රට තුල ඉන්ධන සහ බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් කල්තියා ක්‍රමවේද හඳුනා ගැනීම සාධනීය කරුණක් වුවද, හඳුන්වා දී ඇති ඉන්ධන සලාක ක්‍රමය නිසා සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය සේවකයින් ප්‍රායෝගික ගැටලු ගණනාවකට මුහුණ දෙමින් පවති.

සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ට ප්‍රවාහන පහසුකම් ලබා දීම සඳහා වඩා ප්‍රායෝගික විසඳුමක්, පවතින ක්‍රම වේදය තුල ඉක්මනින් ලබා දිය යුතු අතර ඒ වෙනුවෙන් මැදිහත් වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලීමක්ද සිදු කර ඇත.

එහෙත් මේ වන තුරු සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුලු කිසිදු වගකිවයුත්තෙක් මෙම ගැටලුව සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නැති අතර ඉන්ධන සීමා සහිත වීම හේතුවෙන් ඉදිරියේදි රෝහල් පද්ධතිය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් දැඩි අවදානමක් ද මතුව ඇත.

පවතින ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් රට පුරා සියලු නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් හෙට දිනයේදි, එනම්, 2026.03.17 වැනි දින පැවැත්වීමට නියමිතය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ගැටලු සම්බන්ධයෙන් අධ්‍යයනය කර විසඳුම් සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මධ්‍යම කාරක සභාව විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාවද හෙට දිනයේදි ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සියලු කරුණු සමාලෝචනය කරමින් ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු රැසක් හෙට දිනයේදී ප්‍රකාශයට පත් වීමට නියමිත අතර නිදහස් සෞඛ්‍ය රැකගැනීමේ වගකීමෙන් වගකිවයුත්තන්ට කිසිසේත් පැන යා නොහැකි බව අවධාරණය කරමු.

1 Comments

Previous Post Next Post