මැදපෙරදිග කලාපය තුළ ව්‍යාප්ත වෙමින් පවතින යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලියට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් විදුලි උත්පාදනය සඳහා අත්‍යවශ්‍ය ගල්අඟුරු තොග මෙරටට ළඟා වීම තවදුරටත් ප්‍රේම වනු ඇතැයි රජයේ උසස් නිලධාරියෙක් ඊයේ ප්‍රකාශ කළේය.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු වෙනුවෙන් ගල්අඟුරු නැව්වාර 25ක් ඇණවුම් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. ඉන් නැව්වාර 12ක් මේ වන විට මෙරටට ළඟා වී ඇති නමුත්, ඒවායේ ගුණාත්මකභාවය (අඩු තාප දාහක අගය) සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වී තිබේ.
නිලධාරියෙකු සඳහන් කළේ, මැදපෙරදිග අර්බුදයත් සමඟ ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගවලට එල්ල වී ඇති බාධා හේතුවෙන්, ඇණවුම් කළ ගල්අඟුරු තොග සැපයීම සඳහා සැපයුම්කරු අමතර කාලයක් ඉල්ලා ඇති බවයි.
"සැපයුම්කරු මීට පෙරද නියමිත කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා තිබුණා. යුදමය තත්ත්වයත් සමඟ නාවික කටයුතුවලට එල්ල වී ඇති බාධා පෙන්වා දෙමින්, ඇණවුම් නිම කිරීම සඳහා 2026 මැයි 10 දක්වා තවදුරටත් කල් ලබා දෙන ලෙස ඔවුන් දැන් ඉල්ලීම් කර තිබෙනවා," යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
දිගුකාලීන ටෙන්ඩර් පටිපාටියක් යටතේ 2025 අගභාගයේ සහ 2026 මුල් භාගයේදී ආනයනය කරන ලද ගල්අඟුරු තොග කිහිපයක් බාල මට්ටමේ පවතින බවට එල්ල වූ චෝදනා සමඟ මෙම අර්බුදය තවදුරටත් උත්සන්න වී තිබේ
