මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වාතාවරණය තවදුරටත් උග්‍ර කරමින්, ලෝක ආර්ථිකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් අවහිර කරන බවට යේමනයේ හූති කැරලිකරුවන් අනතුරු අඟවා තිබේ.
ඉරානයේ සහාය ලබන මෙම සන්නද්ධ කණ්ඩායම සෙනසුරාදා ප්‍රකාශ කළේ, ඊශ්‍රායලයේ සංවේදී හමුදා ඉලක්ක වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් අනතුරුව, රතු මුහුදේ පිහිටි ‘බාබ් අල්-මන්දෙබ්’ සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන් සලකා බලමින් සිටින බවයි.
බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය, රතු මුහුද සහ ඒඩන් බොක්ක යා කරන සැතපුම් 18ක් පළලැති ඉතා වැදගත් මුහුදු මාර්ගයකි. මෙය සූවස් ඇළ වෙත ගමන් කරන නාවික ගමනාගමනය පාලනය කරන ප්‍රධාන මර්මස්ථානයක් ලෙස සැලකේ.
දැනටමත් ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය ප්‍රායෝගිකව අවහිර කර ඇති පසුබිමක, මෙම දෙවන නාවික මාර්ගයද අඩාල වුවහොත් ලෝක වෙළඳාමට එල්ල වන බලපෑම සුළුපටු නොවේ.
සංඛ්‍යාලේඛනවලට අනුව ගෝලීය මුහුදු මාර්ග වෙළඳාමෙන් 10%ක් රතු මුහුද හරහා සිදු වේ.ලොව බහාලුම් ප්‍රවාහනයෙන් 20%ක් සහ බොරතෙල් ප්‍රවාහනයෙන් 10%ක් මෙම මාර්ගය භාවිතා කරයි. 2023-2025 කාලය තුළ හූති ප්‍රහාර හේතුවෙන් සූවස් ඇළ හරහා ගමන් කළ නෞකා සංඛ්‍යාව 26,000 සිට 12,700 දක්වා අඩකින් පමණ පහත වැටී ඇත.
ඩෝහා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය මොහොමඩ් එල්මස්රි පවසන්නේ, හූතිවරුන් මෙම යුද්ධයට සෘජුව මැදිහත් වීම ඉතා බරපතළ තත්ත්වයක් බවයි. "ඔවුන් බාබ් අල්-මන්දෙබ් සන්ධිය සහ සූවස් ඇළ වසා දැමීමට තීරණය කළහොත්, හෝර්මුස් සන්ධියත් සමඟ ලෝකයේ ප්‍රධානතම ආර්ථික මර්මස්ථාන දෙකක් අකර්මණ්‍ය වනු ඇත," යැයි ඔහු පෙන්වා දෙයි.
හූති නියෝජ්‍ය තොරතුරු අමාත්‍ය මොහොමඩ් මන්සූර් අවධාරණය කළේ, "අපි මෙම සටන අදියර කිහිපයකින් මෙහෙයවනවා. බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය වසා දැමීම අප සතු එක් විකල්පයක් පමණයි," යනුවෙනි.
මෙම තත්ත්වය හමුවේ ඉන්ධන මිල ඉහළ යාමේ සහ ගෝලීය සැපයුම් දාම බිඳවැටීමේ අවදානමක් පවතින බැවින්, අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් මෙම තර්ජනය මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමකට අවතීර්ණ වීමේ ඉඩකඩක් පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

American Britania other European country's politician go home karallak atha langa enava, balamu prejathnthravade, reddapallen berena hati
ReplyDelete