සියවසේ බිහිසුණුම පැය එළැඹෙමින්.. ඉරානයේ සියළු බලාගාර පුපුරුවන්න යයි..

 


ඇමරිකා එක්සත් ජනපදය සහ වර්තමාන ඉරාන රජය අතර ඉතා "බැරෑරුම්" මට්ටමේ සාකච්ඡා ආරම්භ වී ඇති බවත්, එම සාකච්ඡාවල යහපත් ප්‍රගතියක් පවතින බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

තම 'Truth Social' සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, වර්තමාන ඉරාන රජය පෙරට වඩා "සාධාරණ" මට්ටමක පසුවන බවයි.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡා හරහා ඉතා ඉක්මනින් එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත් ඉරානයේ තීරණාත්මක බලශක්ති යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට ජනාධිපතිවරයා දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.

හොර්මූස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීමට ඉරානය පියවර ගත යුතු බව අවධාරණය කරන ට්‍රම්ප්, එසේ නොවන්නේ නම් ඉරානයේ සියලුම විදුලි බලාගාර, තෙල් ලිං සහ ප්‍රධාන තෙල් පර්යන්තයක් වන 'කාර්ග් දූපත' විනාශ කිරීමට පියවර ගන්නා බව සඳහන් කළේය. මීට අමතරව එරට ජල පිරිපහදු මධ්‍යස්ථාන වෙත ද ප්‍රහාර එල්ල කරන බවට ඔහු තවදුරටත් අනතුරු අඟවා තිබේ.

පසුගිය සති අන්තයේ දී ඔහු ප්‍රකාශ කළේ පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතු යථා තත්ත්වයට පත් නොකරන්නේ නම් ප්‍රහාර ආරම්භ කරන බවයි.

නමුත් පසුව දෙපාර්ශවය අතර ඵලදායී සංවාදයක් ඇති වූ බැවින් එම තීරණය අත්හිටවූ බව ඔහු පවසයි.

ඇමරිකාව සමඟ සෘජු හා වක්‍ර සාකච්ඡා පවතින බවට ට්‍රම්ප් පවසන කරුණු ඉරානය ප්‍රතික්ෂේප කරයි. ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බාකේ පවසන්නේ, දෙරට අතර සන්නිවේදනය සිදුවන්නේ අතරමැදියන් හරහා පමණක් බවයි. ඇමරිකාව ඉදිරිපත් කර ඇති යෝජනා "අතාර්කික, යථාර්ථවාදී නොවන සහ අතිශය අසාධාරණ" බව ද ඔහු සඳහන් කළේය.

"අප සිටින්නේ යුදමය ආක්‍රමණයකට මුහුණ දෙමිනුයි. එබැවින් අපගේ සම්පූර්ණ ශක්තිය යොදවන්නේ අපව ආරක්ෂා කර ගැනීම සඳහා පමණයි," යැයි බාකේ අවධාරණය කළේය.

ඉරානය ද ඇමරිකාවට පෙරළා අනතුරු අඟවමින් කියා සිටියේ, තම බලශක්ති පද්ධතියට ප්‍රහාර එල්ල වුවහොත් බටහිර ආසියාව පුරා පිහිටි ඇමරිකානු හිතවාදී මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවයි.

විශේෂයෙන්ම ඊශ්‍රායලයේ විදුලි උත්පාදනයෙන් අඩකට වඩා ප්‍රධාන බලාගාර පහක් මත රඳා පවතින බව පෙන්වා දෙමින් ඉරානය සිය යුදමය ස්ථාවරය ප්‍රකාශ කර ඇත.


Previous Post Next Post