බෝම්බ ඔත්තුවක්.. පලාත් සභා ගොඩනැගිල්ල වහා හිස් කරයි...


වයඹ පළාත් සභා ගොඩනැගිල්ල ඉලක්ක කරගනිමින් සයනයිඩ් විෂ සහිත බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ලද තොරතුර පදනම් විරහිත බව තහවුරු වී ඇත
.

ඊයේ (03) විද්‍යුත් තැපෑල ඔස්සේ ලැබුණු මෙම අනතුරු ඇඟවීම හේතුවෙන් ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තද, සිදුකළ විමර්ශනවලදී එවැනි කිසිදු අවදානමක් නොමැති බව අනාවරණය විය.

පොදු ඊමේල් ලිපිනයක් හරහා දෙමළ භාෂාවෙන් ලැබුණු මෙම පණිවුඩයේ දැක්වුණේ, පෙරවරු 11.50 ට පමණ 'රමීෂා හුසෙයින්' නමැති ගිණුමකින් එවන ලද 'RDX' වර්ගයේ බෝම්බ පිපිරවීමක් සිදුවන බවයි.

මෙම හදිසි තත්ත්වය හමුවේ ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ගත් පියවර මෙසේය:

පළාත් සභාවේ සේවය කළ සියලුම නිලධාරීන් සහ සේවක පිරිස් වහාම ගොඩනැගිල්ලෙන් පිටතට යොමු කෙරිණි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස විතානගේ මහතාගේ උපදෙස් මත කුරුණෑගල පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කළේය. සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛයන් ද යොදාගත් අතර මුළු මහත් පරිශ්‍රයම දැඩි පරීක්ෂාවකට ලක් කරන ලදී.

පොලිසිය සඳහන් කරන පරිදි, මෙම පරිශ්‍රය තුළ සැකකටයුතු කිසිදු උපකරණයක් හෝ ද්‍රව්‍යයක් හමු වී නොමැත. මීට පෙර අවස්ථාවලදී ද මෙවැනිම ආකාරයේ ව්‍යාජ තර්ජන කිහිපයක් වාර්තා වී තිබූ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළ විමර්ශනවලදී ඒවා ද අසත්‍ය තොරතුරු බව මීට පෙර තහවුරු කර ගෙන තිබුණි.



Previous Post Next Post