ඉරාන යුද්දයේ ඇමරිකාවට දිනක වියදම බිලියනය ආසන්නයි.. Patriot මිසයිල අවසන් වෙමින්..

 


ඉරානයට එරෙහිව ඇමරිකාව ආරම්භ කර ඇති 'ඔපරේෂන් එපික් ෆියුරි' යුද මෙහෙයුම හේතුවෙන් ඇමරිකානු ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. 

නවතම වාර්තාවලට අනුව, මෙම මෙහෙයුමේ පළමු පැය 24 තුළ පමණක් ඇමරිකාව දළ වශයෙන් ඩොලර් මිලියන 779ක මුදලක් වැය කර ඇත.

මෙම දැවැන්ත වියදමට අමතරව, යුද්ධය ආරම්භ වීමට පෙර සිදුකළ හමුදා සූදානම සහ නෞකා කලාපයට ගෙන්වීම සඳහා පමණක් තවත් ඩොලර් මිලියන 630ක් වැය වී ඇති බව ඇස්තමේන්තු කර තිබේ. විශේෂඥයන් පෙන්වා දෙන්නේ 'USS Gerald R Ford' වැනි එක් ගුවන් යානා වාහක නෞකා කණ්ඩායමක් නඩත්තු කිරීම සඳහා පමණක් දිනකට ඩොලර් මිලියන 6.5ක් පමණ වැය වන බවයි. වර්තමානයේ ඇමරිකාව මෙවැනි නෞකා කණ්ඩායම් දෙකක් කලාපය තුළ ස්ථානගත කර ඇත.

2023 ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා මැදපෙරදිග කලාපයේ යුදමය ක්‍රියාකාරකම් සඳහා ඇමරිකාව වැය කර ඇති සමස්ථ මුදල ඩොලර් බිලියන 31.35ත් 33.77ත් අතර අගයක් ගන්නා බව බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ 2025 වාර්තාවක් උපුටා දක්වමින් සඳහන් වේ. මෙයින් ඩොලර් බිලියන 21.7ක් සෘජුවම ඊශ්‍රායලයට යුද ආධාර ලෙස ලබා දී ඇති අතර, ඉතිරි ඩොලර් බිලියන 10කට අධික මුදල යේමනය, ඉරානය සහ අවට කලාපයේ ඇමරිකානු මෙහෙයුම් සඳහා වැය කර ඇත.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වර්තමාන ආරක්ෂක අයවැය ඩොලර් ට්‍රිලියන 1.5 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇතත්, වියදමට වඩා අවි ආයුධ තොග අවසන් වීම පිළිබඳව ආර්ථික සහ යුද විශේෂඥයන් අනතුරු අඟවයි. 

විශේෂයෙන් පැට්‍රියට් (Patriot) වැනි මිසයිල නාශක පද්ධතිවල පවතින සීමිත තොග හේතුවෙන් සති කිහිපයකට වඩා මෙවැනි දැවැන්ත මෙහෙයුමක් පවත්වාගෙන යාම අසීරු විය හැකි බව ඔවුන් පවසති.

ඉරානයේ ඉලක්ක 1,250කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති මෙම මෙහෙයුම සති හතරක් හෝ ඊට වැඩි කාලයක් පවතිනු ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර, එය ඇමරිකානු බදු ගෙවන්නන්ට තවදුරටත් දැඩි බරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ

1 Comments

Previous Post Next Post