සෞදි ආරාබිය ආසියාවට ඉන්ධන සැපයුම කපා හරී.. Sinopec අමාරුවේ...


 සෞදි අරාබියේ ප්‍රමුඛතම තෙල් සමාගම වන Saudi Aramco, අඛණ්ඩව දෙවන මාසයටත් ලබන අප්‍රේල් මාසයේදී ආසියානු කලාපය සඳහා ලබාදෙන බොරතෙල් සැපයුම සීමා කිරීමට පියවර ගෙන ඇත. ඇමරිකා - ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙන වෙළඳ ගනුදෙනුවලට බාධා එල්ල වීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී තිබේ.

අප්‍රේල් මාසයේදී ආසියානු පාරිභෝගිකයන් වෙත ලබා දෙන්නේ රතු මුහුදේ පිහිටි Yanbu වරාය හරහා අපනයනය කෙරෙන Arab Light වර්ගයේ බොරතෙල් පමණක් බව වාර්තා වේ.

විශ්ලේෂණ දත්තවලට අනුව, සෞදි අරාබිය පෙබරවාරි මාසයේදී දිනකට බොරතෙල් බැරල් මිලියන 7.108ක් අපනයනය කර ඇති අතර, මාර්තු මාසය වන විට එය දිනකට බැරල් මිලියන 4.355ක් දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින අවදානම් තත්ත්වය මඟහැරීම සඳහා සෞදි අරාබිය යාන්බු වරාය හරහා සිදුකරන අපනයන ඉහළ නැංවීමට උත්සාහ කරමින් සිටී.

චීනයේ ප්‍රධානතම පිරිපහදු සමාගමක් වන Sinopec, මාර්තු මාසයේදී සෞදි බොරතෙල් බැරල් මිලියන 24ක් පමණ යාන්බු වරායෙන් ලබා ගැනීමට නියමිතව ඇත.

මෙම සැපයුම් කප්පාදුව හේතුවෙන් ආසියානු තෙල් පිරිපහදු මධ්‍යස්ථාන වෙත ලැබෙන තෙල් ප්‍රමාණය සීමා වන අතර, එමඟින් පිරිපහදු කළ තෙල් නිෂ්පාදන ධාරිතාවද අඩුවනු ඇතැයි සැක කෙරේ. මේ අතර, පසුගිය බ්‍රහස්පතින්දා දින යාන්බු වරායේ පිහිටි සෞදි අරාම්කෝ සමාගමට අයත් සැම්රෙෆ් පිරිපහදුව වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් තෙල් පැටවීමේ කටයුතුවලට තාවකාලිකව බාධා එල්ල වූ බවද වාර්තා වේ.

මැදපෙරදිග පවතින මෙම නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළේ මෙන්ම ආසියානු කොටස් වෙළඳපොළ තුළද විවිධ වෙනස්කම් සිදුවෙමින් පවතින බව මූල්‍ය විශ්ලේෂකයෝ පවසති.

Previous Post Next Post