කොළඹ නගරයට සහ තදාසන්න ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය සපයන ප්‍රධානතම ජල පවිත්‍රාගාරයක් වන කලටුවාව ජල පවිත්‍රාගාරයේ ජලය පවතින්නේ තවත් දින 20කට පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා අද (02) අනාවරණය කළේය.
පවතින අධික වියළි කාලගුණයත් සමඟ ජල මූලාශ්‍ර වේගයෙන් සිඳී යන අතර, උණුසුම් තත්ත්වය හේතුවෙන් ජල පරිභෝජනය ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
මණ්ඩලය පෙන්වා දෙන්නේ ලබුගම ජල පවිත්‍රාගාරයේ ද ජලය පවතින්නේ තවත් දින 50ක කාලයකට පමණක් බවයි.
පවතින මෙම බරපතළ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා මණ්ඩලයේ සභාපති සහ සාමාන්‍යාධිකාරීවරයාගේ උපදෙස් මත 'විශේෂ මෙහෙයුම් කමිටුවක්' වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.
ජල මූලාශ්‍රවල තත්ත්වය දෛනිකව නිරීක්ෂණය කරමින් ජල බෙදාහැරීම විධිමත් කිරීම මෙම කමිටුවේ වගකීම වන අතර, ඉදිරියේදී ජල නිෂ්පාදනය තවදුරටත් සීමා කිරීමට සිදු වන බවද සභාපතිවරයා අවධාරණය කළේය.
කලටුවාව සහ ලාබුගම ජලාශවලට එල්ල වන දැඩි පීඩනය අවම කිරීමේ පියවරක් ලෙස, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (02) රාත්‍රී 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24 ක ජල කප්පාදුවක් සිදු කිරීමට මණ්ඩලය තීරණය කර ඇත.
ජල කප්පාදුව පාදුක්ක ප්‍රදේශයෙන් ආරම්භ වන අතර, අනෙකුත් බලපෑමට ලක්වන ප්‍රදේශවල පාරිභෝගිකයන් වෙත SMS පණිවිඩයක් මගින් ඒ පිළිබඳව කල්තියා දැනුම් දෙනු ලැබේ.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත්, අපතේ යෑම් අවම කරන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි.
