ඩීසල් අමුතුම ප‍්‍රිමියම් වංගුවක තොරතුරු එලියට.. ඩොලර් 3.8ට ගිවිසුම් ගත සමාගමටම ඩොලර් 48ක් දීලා...


ලංකාවට තෙල් මිලදී ගැනීමේදී ගෙවනු ලබන ‘ප්‍රීමියම්’ ගාස්තු සම්බන්ධයෙන් බරපතළ සැකසහිත තත්ත්වයක් පවතින බවත්
, ඇතැම් සමාගම් සඳහා අසාමාන්‍ය ලෙස ඉහළ ප්‍රීමියම් ගාස්තු ගෙවීම හරහා මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවන බවට සැක කරන බවත් හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා පවසයි.

සිය සමාජ ජාල නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල තීරණය වීමේදී සිංගප්පූරු ප්ලැට්ස් වැනි දෛනික දර්ශක අගයන්ට අමතරව සැපයුම්කරුවන්ට ගෙවනු ලබන ‘ප්‍රීමියම්’ ගාස්තුව හරහා මෙම ගැටලු සහගත තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.

මෙහිදී වරුණ රාජපක්ෂ මහතා විශේෂයෙන්ම 'ට්‍රැෆිගුරා' නැමැති සමාගම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළේය. එම සමාගම නෞකා පහක් සැපයීම සඳහා රජය සමඟ ගිවිසුම්ගතව තිබුණේ ඩොලර් 3.8ක පමණ ප්‍රීමියම් අගයකට වුවද, නෞකා දෙකක් සැපයීමෙන් පසු ඔවුන් ඉතිරි නෞකා තුන සැපයීම පැහැර හැර ඇති බව ඔහු පවසයි.

සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක අදාළ සමාගම අසාදු ලේඛනගත කළ යුතු වුවද, මෙම රජය එම සමාගමටම නැවත ‘ස්පොට් ටෙන්ඩර්’ හරහා තෙල් සැපයීමට අවස්ථාව දී ඇති බවත්, එහිදී පෙර පැවති ඩොලර් 3.8ක ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 43 දක්වා අතිවිශාල ලෙස වැඩි කර ඇති බවත් ඔහු චෝදනා කරයි.

එම කාල වකවානුවේදීම 'ෆෙඩේසා' වැනි අනෙකුත් සමාගම් තවදුරටත් ඩොලර් 3.8ක පමණ මුල් එකඟ වූ ප්‍රීමියම් අගයන්ටම තෙල් සැපයීමට කටයුතු කරද්දී, එක් සමාගමකට පමණක් මෙලෙස ඉහළ මිලක් ගෙවීමට ගත් තීරණය පිටුපස කිසියම් ‘කොමිස්’ ගනුදෙනුවක් පවතින්නේද යන්න පිළිබඳව රජය පැහැදිලි කළ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්තා උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, ඇතැම් අවස්ථාවල ජෙට් ඒ-1 (Jet A1) ඉන්ධන සඳහා ඩොලර් 57.2ක් වැනි ඉතා ඉහළ ප්‍රීමියම් අගයන් ගෙවා ඇති බවයි. වෙළඳපොළ මිල ඩොලර් 230ක සීමාවේ පවතිද්දී ඩොලර් 286ක වැනි ඉහළ මිලකට බැරලයක් මිලදී ගැනීම හරහා ඩොලර් 56ක පමණ අමතර ප්‍රීමියම් එකක් ගෙවා ඇති බවට ඔහු ගණන් හිලව් ඉදිරිපත් කළේය.

මෙම තත්ත්වය මීට පෙර ගල් අඟුරු ටෙන්ඩර් සහ සූර්ය බලශක්ති බැටරි ටෙන්ඩර් වලදීද දක්නට ලැබුණු බවත්, ගිවිසුම් කඩ කරන සමාගම්වලටම නැවත වැඩි මිලට ටෙන්ඩර් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවත් වරුණ රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම සැකසහිත ගනුදෙනු සම්බන්ධයෙන් වහාම පැහැදිලි කිරීමක් කරන ලෙස ඔහු ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර මාධ්‍ය හමුවක් අමතමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ මීට පෙර අඩු මිලට ඉන්ධන සැපයීමට එකඟ වූ සමාගම්, දැන් අසාධාරණ ලෙස ඉහළ දැමූ මිල ගණන් යටතේ ඉන්ධන සැපයීමේ ජාවාරමක නිරත වන බවයි.

රණවක මහතා පවසන පරිදි, 'ට්‍රැෆිගුරා' නමැති සමාගමට මීට පෙර ඩීසල් නැව් පහක් මෙරටට ගෙන ඒම සඳහා ටෙන්ඩරයක් හිමිව තිබූ අතර එහිදී බැරලයකට අය කළ සාමාන්‍ය ප්‍රිමියම් (Premium) ගාස්තුව ඩොලර් 3.8කි. එම සමාගම නැව් තොග දෙකක් ලබා දීමෙන් අනතුරුව, යුධමය වාතාවරණයක් හේතුවෙන් පැන නැගුණු හදිසි තත්ත්වයක් පවසමින් තුන්වන නැව් තොගය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වෙතත්, පසුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කැඳවන ලද තරඟකාරී නොවන ටෙන්ඩරයක් හරහා ඩීසල් සහ ජෙට් ඉන්ධන ගෙන ඒමේ අවස්ථාව නැවතත් මෙම සමාගමටම හිමිව තිබේ. එහිදී මීට පෙර ඩොලර් 3.8ක්ව පැවති ප්‍රිමියම් ගාස්තුව ඩොලර් 48 දක්වා අතිවිශාල ලෙස ඉහළ නංවා ඇති බව රණවක මහතා අවධාරණය කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා දීර්ඝ කාලයක් මෙම විෂය පිළිබඳ පළපුරුද්දක් ඇති වෘත්තීය සමිති ක්‍රියාධරයෙකු වුවද, මෙවැනි අක්‍රමිකතා හමුවේ නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව හිටපු අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියි.

එමෙන්ම, අතිරේක නැව් තොග ගෙන්වීමේ කටයුතු ජනාධිපතිවරයාගේ සමීපතම ව්‍යාපාරික මිතුරෙකුට අයත් දේශීය සමාගමක් හරහා සිදුවන බවත්, ඒ පිළිබඳව විගණකාධිපතිවරයා පවා විවෘත ප්‍රකාශයක් සිදු කර ඇති බවත් ඔහු අනාවරණය කළේය.

මෙම ගනුදෙනු පිටුපස රහසිගත සබඳතා පවතින බව සනාථ කරන දුරකථන සංවාදයක් පවා හෙළිදරව් වී ඇති බව පවසන රණවක මහතා, මෙය දැනටමත් සිදුවෙමින් පවතින අපරාධයක් බැවින් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බව රජයෙන් ඉල්ලා සිටියේය.


2 Comments

  1. There is nothing wrong with this—this is how any country acts in an emergency
    Remember,
    we bought coal at $350 during 2022–23, when we had a dollar shortage, whereas now it is $98.

    ReplyDelete
  2. වරුණ රාජපක්ෂ කොහේ ඉන්න හාල්පරුවෙක්ද මූ..
    ඔහේ කියවනවා අංක එහෙමෙහෙ කර කර.....
    සජබේ නම් අනේ මන්දා.....

    ReplyDelete
Previous Post Next Post