ශ‍්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායක දසුන් ශානක හට පකිස්ථාන සුපර් ලීග් (PSL) ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම වසර දෙකක කාලයක් සඳහා තහනම් කිරීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන ඇත.
දැනට පැවැත්වෙන 11 වන PSL තරගාවලියෙන් "ඒකපාර්ශ්විකව ඉවත් වීම" හේතුවෙන් ඔහුට මෙම දඬුවම පැනවූ බව පකිස්ථාන පාලක මණ්ඩලය සඳහන් කරයි.
ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සමඟ ඇති කරගත් ගිවිසුම්ගත කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් පැවති විනය පරීක්ෂණයේදී දසුන් ශානක සිය ඉල්ලා අස්වීම පිළිබඳව දැඩි කනගාටුව පළ කර ඇති නමුත්, පකිස්ථාන ක්‍රිකට් බලධාරීන් අවධාරණය කළේ ගිවිසුම් උල්ලංඝනය කිරීමේ බරපතළකම සලකා බැලීමේදී මෙවැනි විනය ක්‍රියාමාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බවයි. මෙම තහනම හේතුවෙන් 34 හැවිරිදි ශානකට 2027 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ PSL තරගාවලිය ද අහිමි වනු ඇත.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් දසුන් ශානක පකිස්ථාන ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව අයැද සිටියේය. "මම PSL තරගාවලියෙන් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව දැඩි ලෙස කනගාටු වන අතර පකිස්ථාන ජනතාවගෙන්, ක්‍රිකට් ලෝලීන්ගෙන් සහ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමෙන් සමාව අයැද සිටිනවා," යැයි ඔහු එහි සඳහන් කර තිබුණි.
තමන් තරගාවලියෙන් ඉවත් වන අවස්ථාවේ වෙනත් කිසිදු ලීග් තරගාවලියකට එක්වීමේ අදහසක් නොතිබූ බවත්, පෞද්ගලික හේතූන් මත මෙම තීරණය ගත් බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
මෙවර PSL ක්‍රීඩක වෙන්දේසියේදී ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම විසින් දසුන් ශානකව රුපියල් මිලියන 7.5 ක මුදලකට (පකිස්ථාන රුපියල්) මිලදී ගෙන තිබුණි. එහෙත් තරගාවලිය ආරම්භ වීමට දින තුනකට පෙර ඔහු පෞද්ගලික හේතූන් මත ඉවත් වූ අතර, ඔහු වෙනුවට ඕස්ට්‍රේලියාවේ ඩැනියෙල් සෑම්ස් කණ්ඩායමට කැඳවනු ලැබීය.
