ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සහ සැපයුම්කාර සමාගමක නියෝජිතයෙකු අතර සිදුවූයේ යැයි පැවසෙන ආන්දෝලනාත්මක දුරකතන සංවාදයට අදාළ පරීක්ෂණ, 2009 වසරේ සිට සිදුවූ ගල් අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිසමටම යොමු කිරීමට උත්සාහයක් පවතින බව උවිඳු කුරුකුලසූරිය මහතා අනාවරණය කරයි.
කුරුකුලසූරිය මහතා පෙන්වා දෙන්නේ මෙම හඬපටය සම්බන්ධයෙන් මුජිබර් රහමන් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති නමුත් , ඒ පිළිබඳ වෙනම විමර්ශනයක් සිදු කරනවා වෙනුවට එය පැරණි ගනුදෙනු සොයන ජනාධිපති කොමිසමටම යොමු කිරීමට සාකච්චා කර ඇති බවයි.
මෙම පියවර හරහා අදාළ හඬපටය පිළිබඳ පරීක්ෂණ තවත් වසරකට වඩා වැඩි කාලයක් ප්‍රමාද කරමින් යටපත් කිරීමට ඉඩ ඇති බවට ඔහු අනතුරු අඟවයි.
මෙම සිදුවීම පිළිබඳව විපක්ෂය වඩාත් අවදියෙන් සිටිය යුතු බවත්, හඬපටය ගැන වෙනම පරීක්ෂණයක් ඉල්ලා හඬ නැගිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
අදාළ හඬපටය මගින් ගල් අඟුරු සමාගමේ ප්‍රධානියා සහ හේලීස් ආයතනය අතර සිදුවූ සංවාදයක් නිරූපණය වන බව පැවසේ. එහිදී ජනාධිපතිවරයා, ධම්මික පෙරේරා පමණක් බේරා ගන්නා බවට ප්‍රකාශ වී ඇති ඇති අතර ලේඛන Backdated යොදා භාරදෙන ලෙස දැනුම් දී ඇති බවට ද චෝදනා එල්ල වේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රතනායක මහතා පවසන්නේ අදාළ සංවාදය විකෘති කර ප්‍රචාරය කරන බවයි.
2026 මාර්තු 25 දිනැති බැංකු ඇපකරයක් ලබාදෙන ලෙස තමන් කළ දැනුම්දීමක් මෙලෙස වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවත්, අදාළ ප්‍රසම්පාදන ක්‍රමවේදය නිසි පරිදි අනුගමනය කර ඇති බවත් ඔහු අවධාරණය කරයි.
