ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට එල්ල වී ඇති බාධා මගහරවා ගැනීම සඳහා, සම්බාධක පනවා ඇති රුසියානු තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලදී ගැනීමට ලබා දී තිබූ සහන කාලය තවත් මසකින් දීර්ඝ කිරීමට ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ට්‍රම්ප් පරිපාලනය ගත් මෙම තීරණයට අනුව, පසුගිය සිකුරාදා වන විට නෞකාවලට පටවා ඇති රුසියානු තෙල් තොග මැයි 16 වනදා දක්වා මිලදී ගැනීමට අවසර හිමිවේ. මීට පෙර ලබා දී තිබූ සහන කාලය අප්‍රේල් 11 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණි.
රුසියානු ජනාධිපති විශේෂ නියෝජිත කිරිල් දිමිත්‍රියෙව් මහතා සඳහන් කළේ, මෙම මුල් සහන කාලය හරහා රුසියානු බොරතෙල් බැරල් මිලියන 100 ක් පමණ නිදහස් වන බවයි. එය ලෝකයේ දෛනික තෙල් නිෂ්පාදනයට සමාන ප්‍රමාණයකි.
කෙසේ වෙතත්, යුක්රේන යුද්ධය සඳහා රුසියාවට ලැබෙන ආදායම් මාර්ග අවහිර කිරීමට බටහිර රටවල් සම්බාධක පනවා ඇති පසුබිමක, ඇමරිකාවේ මෙම තීරණය යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේන් ඇතුළු පාර්ශ්ව කිහිපයක දැඩි විවේචනයට ලක්ව ඇත.
