මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය තවදුරටත් පැවතියහොත්, ඉදිරි සති හයක කාලය ඇතුළත මුළු යුරෝපයම දැඩි ගුවන් යානා ඉන්ධන (Jet Fuel) හිඟයකට මුහුණ දෙනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) අනතුරු අඟවයි.
එම ඒජන්සියේ ප්‍රධානී ෆාතිහ් බිරෝල් මහතා පෙන්වා දෙන්නේ යුරෝපයේ ගුවන් යානා ඉන්ධන අවශ්‍යතාවයෙන් 75% ක්ම සපුරා ගන්නේ මැදපෙරදිග කලාපයෙන් බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි ප්‍රධාන සැපයුම් මාර්ගවල පවතින අවහිරතා හේතුවෙන් මෙම ඉන්ධන සැපයුම් ජාලයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
ඉන්ධන හිඟය හේතුවෙන් ඉදිරි කාලයේදී ගුවන් ගමන් වාර විශාල වශයෙන් අවලංගු කිරීමට සිදුවනු ඇති බවත්, මෙහි බලපෑම ගෑස් සහ විදුලිබල ක්ෂේත්‍රය ඇතුළු සමස්ත බලශක්ති වෙළඳපොළටම ව්‍යාප්ත විය හැකි බවත් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පෙන්වා දෙයි.
බලධාරීන් අනතුරු අඟවන්නේ, මෙතෙක් ආනයනය කළ ප්‍රමාණයෙන් අවම වශයෙන් අඩකට සමාන විකල්ප සැපයුම් මාර්ග සොයා ගැනීමට අපොහොසත් වුවහොත් ලබන ජුනි මාසය වන විට යුරෝපයේ ඉන්ධන සංචිත අර්බුදකාරී මට්ටමකට ඇද වැටෙනු ඇති බවයි.
මෙය මෑත ඉතිහාසයේ වාර්තා වන දරුණුතම බලශක්ති අර්බුදයක ආරම්භය විය හැකි බවට ද බියක් පවතී.
