ඉදිරි සති කිහිපය ඇතුළත සාම ගිවිසුමකට එකඟ නොවන්නේ නම්, ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් සහමුලින්ම විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා අවධාරණය කළේ, එකඟතාවක් ඇති නොවන්නේ නම් ඉරානය නැවතත් ‘ගල් යුගයට’ ඇද දමන බවයි.
දැනටමත් අමෙරිකානු හමුදා මෙහෙයුම් ඉලක්ක සපුරා ගනිමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා, සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයේ සියලුම විදුලි උත්පාදන මධ්‍යස්ථාන වෙත එකවර ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කළේය.
මෙම තර්ජනය ජාත්‍යන්තර යුද නීති උල්ලංඝනය කිරීමක් විය හැකි බවට නීති විශාරදයින් මත පළ කර ඇතත්, ට්‍රම්ප් පාලනාධිකාරිය සිය දැඩි ස්ථාවරය වෙනස් කර නොමැත.
මාසයකට අධික කාලයක් පවතින මෙම යුදමය තත්ත්වය හේතුවෙන් අමෙරිකානු ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාව ද ඉතිහාසයේ අවම මට්ටමකට ඇද වැටී තිබේ.
විශේෂයෙන්ම ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳාමට බාධා පැමිණ ඇත. අමෙරිකාවේ ඉන්ධන මිල ගැලුමකට ඩොලර් 4 ඉක්මවා ගොස් තිබේ.
කෙසේ වෙතත්, යුද්ධය නිම වූ වහාම කොටස් වෙළඳපොළ සහ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන බවට ජනාධිපතිවරයා විශ්වාසය පළ කරයි.
ට්‍රම්ප්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා ඇත්තේ, වැදගත් යටිතල පහසුකම් ඉලක්ක කිරීම සාමාන්‍ය ජනතාවට එල්ල කරන ප්‍රහාරයක් මෙන්ම යුද අපරාධයක් ද වන බවයි.
ඉරානය අමෙරිකාව සමඟ කිසිදු සක්‍රීය සාම සාකච්ඡාවකට සම්බන්ධ නොවන බව ද ඔහු අවධාරණය කළේය.
ට්‍රම්ප් විසින් ඉදිරි සති කිහිපය තුළ ඉරානයට "ඉතා දැඩි ලෙස" ප්‍රහාර එල්ල කරන බවට කළ අනතුරු ඇඟවීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
වාණිජ තෙල් නැව්වලට සහ අසල්වැසි රටවලට ඉරානය එල්ල කරන ප්‍රහාර මෙම තීරණයට හේතු වූ බව ඔහු පැවසීය.
මෙම ප්‍රකාශයත් සමඟ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල 5% කින් ඉහළ ගොස් ඇත. එසේම ඇමරිකානු WTI බොරතෙල් මිලද 4.1% කින් ඉහළ වාර්තා විය.
පසුගිය පෙබරවාරි 28 වනදා සිට ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන්, ලොව තෙල් සහ ගෑස් ප්‍රවාහනයෙන් පහෙන් එකක් සිදුවන හෝමූස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය දැනටමත් සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට තිබේ. මෙම මුහුදු මාර්ගය කඩිනමින් විවෘත වීමේ ලකුණක් නොමැති බව විශ්ලේෂකයෝ පවසති.
ඉරානය සටන් විරාමයක් ඉල්ලා ඇති බවට ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණද, ඉරානය එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇත. හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය තවදුරටත් තම නාවික හමුදාව සතුව පවතින බවත්, ඇමරිකානු නායකයාගේ ප්‍රකාශ මත පදනම්ව එය විවෘත නොකරන බවත් ඉරානය අවධාරණය කර තිබේ.
වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ට්‍රම්ප්ගේ මෙම නව ප්‍රකාශයත් සමඟ ආයෝජකයින් දැඩි අවිනිශ්චිතතාවයකට පත්ව ඇති අතර, යුද්ධය තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් පවතින බවයි.
කෙසේ වෙතත්, ඉරානය සමඟ සාකච්ඡා තවමත් පවතින බවත් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට ඉඩ ඇති බවත් ට්‍රම්ප් සිය කතාවේදී සඳහන් කර තිබේ
මේ අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ප්‍රකාශ කළේ හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවයි.
