පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් ගාස්තු අය කිරීමේදී නියමිත ගාස්තුවට වඩා වැඩිපුර ගාස්තු අය කරන බවට මහජන පැමිණිළි ලැබී ඇත.
ශ්‍රී ලංකා පොලිසිය හා ජාතික ගමනාගමන කොමිෂන් සභා නිලධාරීන් එක්ව සිදු කරන ලද බස් රථ පරීක්ෂාවේදී එලෙස මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අයකර ගෙන ඇති බවට අනාවරණය වී ඇත.
යම් මගී ප්‍රවාහන බස් රථයක මගියෙකුගෙන් නියමිත ගාස්තු ඉක්මවා වැඩිපුර ගාස්තු අය කරන බවට ලිඛිත හෝ වාචික පැමිණිල්ලක් ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර නෛතික ක්‍රියාමාර්ග ගැනීමට මෝටර් වාහන පනත හා දණ්ඩ නීති සංග්‍රහය මඟින් ප්‍රතිපාදන සලසා ඇත.
මෝටර් වාහන පනතේ 173 වගන්තිය අනුව, “යම් බස් රථයක අයිතිකරු, රියැදුරු හෝ කොන්දොස්තර විසින් යම් ගමන් මාර්ගයක හෝ මහා මාර්ගයක යම් ගමනක් සම්බන්ධයෙන් යම් බස් රථයක් පාවිච්චි කරනු ලබන්නේ බස් රථ ධාවන අවසර පත්‍රයක බලය යටතේද, ඒ බස් රථ ධාවන අවසර පත්‍රයේ යම් තත්ත්වයක් නිසා ඒ ගමන් මාර්ගය හෝ මහා මාර්ගය සම්බන්ධයෙන් බලය දෙනු ලැබූ ගාස්තුව ඉක්මවමින් යම් ගාස්තුවක් යම් මගියෙකුගෙන් ඉල්ලීම හෝ භාර ගැනීම නොකල යුතුය" යනුවෙන් සඳහන් වේ.
එවැනි වැරදි කරන තැනැත්තන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 372 - බලෙන් ලබා ගැනීම, 398 - වංචා කිරීම, 386 - සාපරාධී සාවද්‍ය පරිහරණය යන වගන්ති ප්‍රකාරවද ශ්‍රී ලංකා පොලිසිය ඉදිරි නෛතික ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.
එබැවින් මගී ප්‍රවාහන බස් රථ වල ගමන් කිරීමේදී නියමිත ප්‍රවාහන ගාස්තුව ඉක්මවමින් යම් ගාස්තුවක් නොගෙවන ලෙසත්, එවැනි බස් රථ සම්බන්ධයෙන් පැමිණිළි වෙතොත් වහාම 118, 119 යන දුරකථන අංක ඔස්සේ හෝ පොලිසියට ලිඛිතව හෝ වාචිකව පැමිණිළි ඉදිරිපත් කරන ලෙසටත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත දන්වා සිටී.
