රජයෙන් සංචාරකයන්ට අත්නගල්ලේ එලිමහන් කදවුරු හදයි..

 


විදේශීය සංචාරකයින් වෙනුවෙන් අලවල ප්‍රදේශයේ අලුතින් ඉදිකළ සුවිශේෂී කඳවුරු භූමියක් (Camping Site) ඇත.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා මෙම නව සංචාරක ව්‍යාපෘතිය පිළිබඳව තොරතුරු අනාවරණය කර තිබේ.

රක්ෂිත වනාන්තරයකට, වෙල් යායකට සහ අත්තනගලු ඔයට මායිම්ව පිහිටා ඇති මෙම කඳවුරු භූමිය පරිසර ලෝලීන්ට අලුත් අත්දැකීමක් වනු ඇත.

එකවර පුද්ගලයන් 16 දෙනෙකුට පමණ ආරක්ෂිතව රාත්‍රිය ගත කිරීමේ හැකියාව පවතී.

යාබදව පිහිටි කුමාරි ඇල්ල ඇසුරින් නිර්මාණය කරන ලද ස්වාභාවික නාන තටාකයක් සංචාරකයින් වෙනුවෙන් වෙන් කර ඇත.

සංචාරකයින්ට අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් සේවාවන් සැපයීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ අලවල ප්‍රජා මූල කමිටුව කැපවී සිටියි.

මෙම පරිශ්‍රය ප්ලාස්ටික් සහ පොලිතින්වලින් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යාමට බලධාරීන් පියවර ගෙන ඇත. ඒ අනුව, පිටතින් ආහාර පාන රැගෙන ඒම මෙන්ම නොදිරන ද්‍රව්‍ය පරිශ්‍රයට ඇතුළු කිරීම සපුරා තහනම් වේ.

සංචාරකයින්ගේ පහසුව සඳහා සියලුම ප්‍රධාන දුරකථන ජාලයන්හි සන්නිවේදන පහසුකම් (Signal) මෙම කලාපයට මනාව පවතින බව ද සඳහන් වේ.

මූලිකව විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ආරම්භ කළ ද, දැනට පනවා ඇති කොන්දේසිවලට යටත්ව දේශීය සංචාරකයින්ට ද මෙම කඳවුරු භූමියේ පහසුකම් භුක්ති විඳීමට දැන් අවස්ථාව සලසා දී ඇත.

මෙම ස්ථානය වෙන් කරවා ගැනීමට සහ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී පාලිත මහතා (077 387 7269) ඇමතීමෙන් අවශ්‍ය සහය ලබාගත හැකිය.





Previous Post Next Post