මෙරට රාජ්‍ය සේවයේ නියුතු සියලුම සේවකයන්ට ගෞරවනීය වටිනාකමක් හිමි විය යුතු බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) නව පුහුණු උපදේශකවරුන් සහ පුහුණු නිලධාරීන් සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමිනි.
නාරාහෙන්පිට " නිපුණතා පියස " පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්වුණු අතර, එහිදී දිවයින පුරා විසිරී ඇති වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර 29 ක් සඳහා නව උපදේශකවරුන් 216 දෙනෙකුට සහ පුහුණු නිලධාරින් 25 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි. වෘත්තීය පුහුණු අධිකාරිය හරහා මෙවැනි විශාල පිරිසකට එකවර පත්වීම් ප්‍රදානය කරනු ලැබුවේ වසර හතරකට පසුව වීම විශේෂත්වයකි.
මෙහිදී උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.
"රාජ්‍ය සේවය නිකැලැල් සහ කාර්‌යක්ෂම සේවාවක් ලෙස ගොඩනැගීමට නම් රාජ්‍ය සේවකයන්ට නිසි ගෞරවය හිමි විය යුතුයි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා රජය විසින් වැටුප් වැඩි කිරීම ඇතුළු පහසුකම් සැලසීමට මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා. සුදුස්සාට සුදුසු තැන හිමිවන, තෘප්තිමත් රාජ්‍ය සේවයක් ඇති කිරීම වෙනුවෙන් රජයේ උපරිම දායකත්වය අපි ලබා දෙනවා. සේවකයන්ට ගෞරවනීය වටිනාකමක් නොමැති නම්, ඔවුන්ගේ සේවය සතුටින් රටට ලබා දීමට අපහසුයි. ඒ නිසාම රජයේ සේවකයන්ගේ සුභ සාධනය පිළිබඳව අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා "
පසුගිය කාලසීමාවන්ට වඩා වැඩි මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත වෘත්තීය අධ්‍යාපන අංශය වෙනුවෙන් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඒ අනුව මුල්‍යමය බාධාවකින් තොරව දැවැන්ත ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති බවත්, රටේ අනාගතය පත්වීම්ලාභීන් අත රැඳී ඇති බවත් ඔහු සිහිපත් කළේය. ඔබෙන් අධ්‍යාපනය ලබන දරුවන් අනාගතයේදී රටට විශාල ආදායමක් උත්පාදනය කරන වත්කමක් වනු ඇති බවත්, ඒ වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් කැපවීමෙන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති විජිත වීරතුංග, අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රියන්ත වීරසිංහ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) සමන්හි මිහිඳු කුල සහ අතිරේක ලේකම් (වෘත්තීය පුහුණු) සමන්ති සේනානායක යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ පත්වීම්ලාභීන් විශාල පිරිසක් සහභාගී වූහ.
