ඉරානය විසින් එල්ල කරන ලද අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් සිදු වූ දේපළ හා ජීවිත හානි සඳහා පූර්ණ වන්දි ගෙවිය යුතු බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානයට දැඩි ලෙස බලකර සිටියි.
අබුඩාබි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ පසුගිය දින 40ක කාලය තුළ ගල්ෆ් කලාපයේ යටිතල පහසුකම්, බලශක්ති මධ්‍යස්ථාන සහ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානය වගකිව යුතු බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාර්තාවලට අනුව, බැලස්ටික් මිසයිල, කෲස් මිසයිල සහ ඩ්‍රෝන යානා 2,820කට ආසන්න ප්‍රමාණයක් මෙම කාලය තුළ කලාපයට එල්ල වී ඇත. මෙහිදී සිදු වූ මිනිස් ජීවිත හානි සහ තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ගෙවීම, විනාශ වූ ගොඩනැගිලි සහ යටිතල පහසුකම් යළි ගොඩනැගීම සඳහා පූර්ණ පිරිවැය දැරීම, ප්‍රහාර හේතුවෙන් ඇති වූ ආර්ථික අස්ථාවරත්වය පියවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම යන කරුණු ඉරානය විසින් කඩිනමින් ඉටු කළ යුතු බව එමීර් රාජ්‍යය අවධාරණය කරයි.
කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සතුරු ක්‍රියා නතර කළ යුතු බව පවසන අබුඩාබි පාලනය, හෝර්මුස් සමුද්‍ර සන්ධිය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව විවෘත කිරීමට සහතික විය යුතු බව ද දන්වා සිටියි.
ලෝක තෙල් සැපයුමේ ප්‍රධාන මාර්ගය වන මෙය, ටෙහෙරාන් පාලනය විසින් තවදුරටත් අවහිර නොකළ යුතු බව ඔවුන්ගේ ස්ථාවරයයි.
