දොස්තරලා අදත් රට පුරා වර්ජනයේ..

 


වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීම් සහ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය සඳහා සිදුවන අනිසි දේශපාලන මැදිහත්වීම්වලට විරෝධය පළ කරමින්, අද (02) පෙවරු 08.00 සිට යළිත් වරක් දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

පසුගිය 31 වනදා ක්‍රියාත්මක කළ වර්ජනය ඊයේ උදෑසනින් අවසන් වුවද, අදාළ ගැටලු සඳහා බලධාරීන්ගෙන් නිසි විසඳුම් නොලැබීම මෙම තීරණයට හේතු වී තිබේ. 

ඊ‌ෙය් පස්වරුවේ රැස්වූ එම සංගමයේ හදිසි විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ඒකමතිකව ගෙන ඇති බව වාර්තා වේ.

-------------------

මාධ්‍ය නිවේදනය

වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියේ අක්‍රමිකතා නිවැරදි නොකිරීම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ග අඛණ්ඩව

ශ්‍රේණි වෛද්‍යවරුන්ගෙ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුවට දේශපාලන තීන්දු තීරණ හරහා සිදු කරන ලද අක්‍රමිකතාවන්ට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් 31. 03. 2026 දින දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක් සිදු කරන ලදී.

ප්‍රකාශ කල පරිදිම එම වැඩ වර්ජනය අද දින උදෑසන 08.00ට අත්හිටුවන ලද අතර, පවතින ප්‍රවණතාවයන් අධ්‍යයනය කරමින් ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක සභා රැස්වීමක් අද දින පැවැත්වෙන ලදී.

නීත්‍යානුකූල සහ පිළිගත් ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කරමින්, දේශපාලන බලය අවභාවිතා කරමින් ස්ථාන මාරු ක්‍රියාවලියේ අත්තනෝමතික තීරණ සහ අක්‍රමිකතා අඛණ්ඩව සිදුකිරීම පිළිබඳ මෙහිදී අවධානයට යොමු විය.

  • ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව දේශපාලන බලය යොදා ගනිමින් අත්තනෝමතික ලෙස සංශෝධනය කිරීම.

  • පිළිගත් නිර්ණායක සහ ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින්, පාර්ශවකරුවන්ගේ එකඟතාවය සහ ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව සේවා ස්ථාන 393 සිට 265 දක්වා කප්පාදු කිරීම.

  • දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුවට සුදුසුකම් ලැබීම සඳහා දුෂ්කර සේවා ස්ථානයක සේවය කල යුතු අවම කාලය වසර 01ක සිට වසර 02ක් දක්වා අත්තනෝමතික ලෙස වෙනස් කිරීම.

මෙම අනීතික සහ අත්තනෝමතික තීරණ වෙනස් කරමින් නීත්‍යානුකූල සහ නිවැරදි ක්‍රමවේදය ස්ථාපිත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගකිවයුත්තන් සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නද, එම නිවැරදි කිරීම් සිදුකිරීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

ඉහත තත්ත්වය සමාලෝචනය කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුවේ සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුවේ අක්‍රමිකතා නිවැරදි කිරීමත්, ඒ සඳහා සිදුකරමින් පවතින අනීතික දේශපාලන මැදිහත්වීම් ඉවත්කිරීමත් සඳහා බලකරමින් නැවතත් හෙට දින, එනම් 02. 04. 2026 වන බ්‍රහස්පතින්දා දින පෙ.. 08.00 සිට ආරම්භ වන පරිදි දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කරන ලදී.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ අනීතික දේශපාලන මැදිහත්වීම් ඉවත් කර, එහි නීත්‍යානුකූල භාවය තහවුරු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගකිවයුත්තන්ට තවමත් අවස්ථාව ඇති අතර, එසේ නොකිරීම තුළ ප්‍රකාශයට පත්කිරීමට සිදුවන වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාවට ඇතිවන ඕනෑම පීඩාවක සම්පූර්ණ වගකීම සෞඛ්‍යා අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් භාරගත යුතුය.

5 Comments

  1. පතිරණ ගලප්පත්තිApril 2, 2026 at 5:35 AM

    පැරදිලා ආතතියෙන් පෙලෙන වහල්ලුන්ගේ ස්ට්‍රෙස් තව වැඩි වෙන නිවුස් විතරයි තියෙන්නේ මේ සී නිවුස් එකේ.

    ReplyDelete
  2. I am glad this is happening to NPP government for they organized strikes during all past regimes. Hope others will join the strike too!

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිApril 2, 2026 at 6:16 AM

      Let's hope not. The strikes aren't helpful.

      Delete
  3. This foolish government must go. They can’t

    ReplyDelete
  4. දොස්තරලාට සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න නම් නොනවත්වා වැඩවර්ජනය කලයුතුයි. මේක ජේ ආර් ජයවර්ධන ජනාධිපතිගේ කාලයෙත් සිද්ධ වුණා. මට මතක විදියට ඒ වැඩවර්ජනය දවස් 20 විතර එක දිගට තිබුණා. අවසානයේ GMOA එක ජයග්‍රහණය කෙරුවා.

    ReplyDelete
Previous Post Next Post