ඉරානය සහ එක්සත් ජනපදය අතර පවතින සන්නද්ධ ගැටුම් අවසන් කර කලාපීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන විශේෂ සාම සැලැස්මක් දෙපාර්ශ්වය වෙත ඉදිරිපත් කර ඇති බවත්, එය අද (සඳුදා) සිට ක්‍රියාත්මක වීමට නියමිත බවත් රොයිටර් පුවත් සේවය පවසයි.
පකිස්ථානය මැදිහත් වී සකස් කරන ලද මෙම සැලැස්ම මගින් වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සහ තීරණාත්මක හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම අපේක්ෂා කෙරේ.
‘ඉස්ලාමාබාද් සම්මුතිය’ (Islamabad Accord) ලෙස තාවකාලිකව නම් කර ඇති මෙම යෝජනාව වහාම ක්‍රියාත්මක වන සටන් විරාමයක් ඇති කිරීම සහ නාවික ගමනාගමනය සඳහා හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම, දින 15-20ක් ඇතුළත ස්ථිර සාම ගිවිසුමකට එළඹීම ප්‍රධාන අදියර දෙකකින් සමන්විත වේ.
මෙහිදී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් සීමා කිරීම වෙනුවට ඔවුන්ට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සහ අත්හිටුවා ඇති මූල්‍ය වත්කම් නිදහස් කිරීම පිළිබඳව එකඟතාවකට පැමිණීමට නියමිතය.
පකිස්ථානු හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් සිටින බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
මීට අමතරව චීනය, තුර්කිය සහ ඊජිප්තුව ද මෙම සාම ක්‍රියාවලිය සඳහා දායකත්වය සපයයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම ගැටුම කඩිනමින් අවසන් කිරීමට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින අතර, සටන් විරාමයකට එළඹීමට අපොහොසත් වුවහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට පසුගියදා අනතුරු ඇඟවීය.
කෙසේ වෙතත්, පාකිස්ථාන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පකිස්ථානය, චීනය සහ එක්සත් ජනපදය එක්ව ඉදිරිපත් කළ මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.
තමන්ට නැවත ප්‍රහාර එල්ල නොවන බවට සහතිකයක් සහිත ස්ථිර සටන් විරාමයක් ඉරානයේ අපේක්ෂාව වී තිබේ.
මෙම එකඟතාව සාර්ථක වුවහොත්, ලෝක තෙල් සැපයුමට අත්‍යවශ්‍ය හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින අවහිරතා ඉවත්වීම හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළේ පවතින අස්ථාවරත්වය පහව යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ විශ්වාස කරති.
