දකුණු ලෙබනනයේ ගම්මාන ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, හිස්බුල්ලා සංවිධානය විසින් හඳුනාගැනීමට අතිශය අපහසු නවීන පන්නයේ "මරාගෙන මැරෙන" ඩ්‍රෝන යානයක් ප්‍රථම වරට මෙහෙයුම් සඳහා යොදාගෙන තිබේ.
පසුගිය සඳුදා උතුරු දිග ඊශ්‍රායලයේ හමුදා මධ්‍යස්ථාන සහ ජනාවාස ඉලක්ක කරගනිමින් දියත් කරන ලද දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවකදී මෙම නවීන ගුවන් අවිය ප්‍රදර්ශනය කර ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායලයේ 'කාන්' පුවත් සේවයට අනුව, මෙම නව ඩ්‍රෝන යානය විද්‍යුත් චුම්භක තරංග මගින් සිදුකරන බාධා කිරීම් හමුවේ පවා නොසැලී ක්‍රියා කළ හැකි දෘශ්‍ය මග පෙන්වීමේ පද්ධතියකින් සමන්විත වේ.
රේඩාර් පද්ධතිවලට හසු නොවී ගමන් කිරීමේ හැකියාව, කිලෝමීටර් දස දහස් ගණනක දුරක් පියාසර කිරීමේ හැකියාව, කිලෝ ග්‍රෑම් 5ක් දක්වා වූ පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් රැගෙන යා හැකි වීම, ගොඩනැගිලි අභ්‍යන්තරයේ පවා හැසිරවීමට හැකි අති නවීන තාක්ෂණය මෙහි ඇති ප්‍රධාන විශේෂත්වයන් කිහිපයකි.
සඳුදා අලුයම සිට ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම්වලදී කිරියාත් ෂ්මෝනා , මෙටුලා සහ ටයිබීරියස් ඇතුළු ප්‍රදේශ ගණනාවකට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇත. මීට අමතරව අක්කේ ප්‍රදේශයේ පිහිටි ගෝලානි බලසේනාවට අයත් පුහුණු මධ්‍යස්ථාන සහ 'ටෙෆෙන්' හමුදා කඳවුර ද හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක බවට පත් විය.
ඊශ්‍රායල ආරක්ෂක පද්ධති මගින් මෙයින් සුළු ඩ්‍රෝන ප්‍රමාණයකට පමණක් බාධා කිරීමට සමත් වූ අතර සෙසු යානා නියමිත ඉලක්ක වෙත පතිත වී ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිස්බුල්ලා මහලේකම් ෂෙයික් නයිම් කාසම් ප්‍රකාශ කළේ, ලෙබනනයට එරෙහිව එල්ල වන ඇමරිකානු-ඊශ්‍රායල ආක්‍රමණ සම්පූර්ණයෙන් නතර වන තුරු මෙම ප්‍රතිප්‍රහාර පරමාර්ථය අත් නොහරින බවයි.
2024 වසරේ ඇති කරගත් සටන් විරාම ගිවිසුම් ඊශ්‍රායලය විසින් අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් තමන්ට මෙම පියවර ගැනීමට සිදු වූ බව එම සංවිධානය අවධාරණය කරයි.
දකුණු ලෙබනනයේ ටයර් සහ නබටියේ යන නගරවලට ඊශ්‍රායලය එල්ල කළ දරුණු ප්‍රහාරවලින් ළමුන් ඇතුළු සිවිල් වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති පසුබිමක මෙම යුධමය තත්ත්වය තවදුරටත් උත්සන්න වී තිබේ
