බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ යන්ත්‍ර සිරවීම් හා ගිනිගැනීම්..


 ට්‍රයිඩන්ට් චෙම්පර් (Trident Chemphar) සමාගම මගින් දකුණු අප්‍රිකාවෙන් ආනයනය කරන ලද ගල්අඟුරු තොග බලාගාරයේ සම්මත ප්‍රමිතීන්ට අනුකූල නොවීම හේතුවෙන් ලක්විජය බලාගාරයේ මෙහෙයුම් කටයුතු අර්බුදයකට ලක්ව ඇතැයි 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.

විගණන වාර්තාවට අනුව, මෙම ගල්අඟුරු භාවිතය නිසා බලාගාරයේ සියලුම ජනන යන්ත්‍ර (Units) තුනේම උපරිම ධාරිතාව වන මෙගාවොට් (MW) 300 ලබා ගැනීමට නොහැකි වී ඇත.

ආනයනය කරන ලද ගල්අඟුරුවල තාප දායකත්වය තිබිය යුතු මට්ටමට වඩා (6,150 kcal/kg) බෙහෙවින් අඩු අගයක පැවතීම, ‍මෙම ගල්අඟුරුවල ඇඹරීමට නොහැකි දැඩි ඛනිජ අංශු අධික වීම නිසා ගල්අඟුරු අඹරන යන්ත්‍ර (Mills) නිතර අවහිර වීම, ගල්අඟුරුවල අළු ප්‍රමාණය වැඩි වීම නිසා වායු පෙරහන් අවහිර වී වායු ගමනාගමනයට බාධා එල්ල වීම ඊට බලපෑ ප්‍රධාන හේතු වෙයි.

ඒමෙන්ම යන්ත්‍ර තුළ අංශු එක්රැස් වීම නිසා අධික ලෙස රත් වීම සිදු වන අතර, 2026 මාර්තු 5 වන දින එක් යන්ත්‍රයක ගින්නක් ද හටගෙන ඇතැයිද වාර්තාව සදහන් කරයි.

ගල්අඟුරුවල පවතින අඩු තාප ශක්තිය නිසා අවශ්‍ය විදුලි ධාරිතාව ලබා ගැනීමට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ගල්අඟුරු තොගයක් දහනය කිරීමට සිදුව තිබේ.

මේ හේතුවෙන් මෙහෙයුම් පිරිවැය ඉහළ ගොස් ඇති අතර, පවතින හිඟය පියවා ගැනීම සඳහා ටැරන්ජොට් රිසෝසස් (Taranjot Resources) සමාගමෙන් හදිසි ගල්අඟුරු මිලදී ගැනීම් සිදු කිරීමට ද රජයට සිදු විය.

හදිසි ටෙන්ඩරය හරහා මිලදී ගත් මෙම ගල්අඟුරු බැරලයක මිල ට්‍රයිඩන්ට් සමාගමේ මිලට (ඩොලර් 98.5) වඩා බෙහෙවින් වැඩි (ඩොලර් 142) මිලක් බව ද වාර්තා වේ.

විගණන වාර්තාව පෙන්වා දෙන්නේ 2020 සිට 2025 දක්වා කාලය තුළ මෙවැනි බරපතළ ගුණාත්මක ගැටලු වාර්තා වී නොමැති බවයි. එම කාලය තුළ ආනයනය කළ ගල්අඟුරු තොගවලින් 72% ක්ම අවශ්‍ය ප්‍රමිතීන්ට වඩා ඉහළ මට්ටමක පැවති බව විගණනයේදී අනාවරණය වී ඇති බව පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

Previous Post Next Post