ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ ක්‍රියාත්මක පිරවුම්හල් හිමියන් මුහුණ දෙන පරිපාලන සහ මූල්‍ය ගැටලු සම්බන්ධයෙන් රජය කඩිනම් පියවරක් නොගතහොත්, දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් ඔවුන් විසින් සංස්ථා සභාපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
මීට පෙර ඉන්ධන අලෙවිය වෙනුවෙන් හිමිවූ 3% ක වට්ටම් මුදල 2% දක්වා පහත හෙළීම හේතුවෙන් පිරවුම්හල් පවත්වාගෙන යාම බරපතළ අර්බුදයක් වී ඇති බව සංගමය පෙන්වා දෙයි. මේ පිළිබඳව අවශ්‍ය සාක්ෂි ද ඔවුන් බලධාරීන්ට ඉදිරිපත් කර ඇත.
සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම්, එළඹෙන 6 වැනිදා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානය, විෂයභාර අමාත්‍යාංශය හෝ ජනාධිපති ලේකම් කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට නියමිතය.
දුර බැහැර ප්‍රදේශවල පිරවුම්හල් වෙත රාත්‍රී කාලයේ ඉන්ධන ලැබීම ප්‍රායෝගික ගැටලුවක් වී තිබේ. මේ හේතුවෙන් එළඹෙන 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, රාත්‍රී 10.00 න් පසුව පැමිණෙන ඉන්ධන තොග භාර නොගැනීමටත්, ඒවා පසුදින පෙරවරු 6.30 න් පසුව පමණක් ලබාගැනීමටත් සංගමය තීරණය කර ඇත.
පවතින මෙම තත්ත්වය හමුවේ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියට බාධා එල්ල වීමට පෙර බලධාරීන් මැදිහත් විය යුතු බව එම සංගමය අවධාරණය කරයි.
