ට‍්‍රම්ප්ගේ තර්ජනයෙන් බොරතෙල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට...

 


ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලද දැඩි අනතුරු ඇඟවීම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල පසුගිය සිකුරාදා දිනයේදී පමණක් සියයට 8කින් පමණ ඉහළ ගිය අතර, ඒ අනුව එහි බැරලයක මිල ඇමරිකානු ඩොලර් 109 සීමාව ඉක්මවා ගොස් ඇත.

වත්මන් යුදමය තත්ත්වය ආරම්භ වූ දා සිට මේ දක්වා ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සියයට 50කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. 

මෙලෙස බලශක්ති මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක ඉන්ධන මිල ඉහළ ගොස් ඇති අතර, එය ගෝලීය උද්ධමනය කෙරෙහිද සෘජු බලපෑමක් එල්ල කර තිබේ.

පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා ලොව පුරා රජයන් විශේෂ බලශක්ති සංරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට පෙළඹී ඇත. 

මැදපෙරදිග කලාපයේ පවතින මෙම නොසන්සුන්තාවය තවදුරටත් වර්ධනය වුවහොත්, ඉදිරි සති කිහිපය තුළ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Previous Post Next Post