කෘතිම වැසි වස්සන්න යයි..


සාලිය කුමාර ගුණසේකර

එල්නිනෝ තත්ත්වයත් සමග නියං කාලගුණික තත්ත්වය දිගටම පැවතියහොත් කෘතිම වැසි ඇතිකිරීම සම්බන්ධව කාලගුණ ක්ෂේත්‍රවල අවධානය යොමුවී තිබේ.

නිරිත දිග මෝසම් කාලයේදී එල්නිනෝ තත්ත්වයක් උද්ගත වුවහොත් ජුනි, ජූලි සහ අගෝස්තු මාසවලදී වර්ෂාපතනය විශාල ලෙස අඩුවිය හැකි බවත්, එම තත්ත්වය සැප්තැම්බර් මාසය දක්වා පවතිනු ඇතැයි කාලගුණික අංශ සඳහන්කරයි.

කෘතිම වැසි ඇති කිරීමට නම් තවත් රටක සහයෝගය ලබා ගතයුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේය. මීට වසර කීපයකට ඉහතදී ද කෘතිම වැසි ඇති කිරීම සම්බන්ධව මෙරට තුළදී අත්හදා බැලීමක්ද සිදුකර තිබේ. ලංකාව දූපතක් බැවින් කෘතිම වැසි ඇති කිරීම විධිමත් පරිදි සිදු කළයුතු බවද, එසේ නොකළහොත් බලාපොරොත්තු වන වර්ෂාපතනය ලබාගැනීමට අපහසු වන බවද එම නිලධාරියා පැවසීය.

මේ අතර නිරිත දිග මෝසම් කාලයේදී එල්නිනෝ තත්ත්වයක් උද්ගත වුවහොත් ජුනි, ජූලි සහ අගෝස්තු මාසවලදී වර්ෂාපතනය විශාල ලෙස අඩුවිය හැකි බවත්, එම තත්ත්වය සැප්තැම්බර් මාසය දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ පැවසීය.

ගෝලීය වශයෙන් ජුනි, ජූලි, අගෝස්තු වන විට එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව සියයට 50ත් 55ත් අතර වන බවත්, එම තත්ත්වය ලබන වසරේ (2027) මාර්තු, අප්‍රේල් දක්වා පවතින බවද ඔහු කීවේය. ඉදිරියේදී එල්නිනෝ තත්ත්වයක් ඇතිවිය හැකි බවට ගෝලීය වශයෙන් පුරෝකථනය කර තිබෙන බවද ඔහු පැවසුවේය. ඔක්තෝබර්, නොවැම්බර් වන විට දෙවන අන්තර් මෝසම බවත්, එල්නිනෝ තත්ත්වයකදී වූවත්, දෙවැනි අන්තර් මෝසමේදී වර්ෂාපතනය වැඩිවන බවත්, ඒ අනුව ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා තද වැසි ලැබෙනු ඇතැයිද ඔහු කීවේය.

කෙසේ නමුත් ලබන මැයි මාසයේ වර්ෂාපනයට එල්නිනෝ තත්ත්වයේ විශාල බලපෑමක් ඇති නොවන බවද ඔහු පැවසීය. මැයි මාසයේදී තද වැසි ලැබුණහොත් ජලය කළමනාකරණය කරගැනීමට හැකිවනු ඇතැයිද ඔහු සඳහන් කළේය. අප්‍රේල් සහ මැයි මාස සාමාන්‍යයෙන් උණුසුම් තත්ත්වයක් පැවතියත්, දේශගුණ විපර්යාස සමග එම උණුසුම් තත්ත්වය ක්‍රමයෙන් වැඩිවන බවද ඔහු පැවසුවේය. දැනට පවතින පළමුවැනි අන්තර් මෝසම් තත්ත්වය මැයි මස 15 වැනිදා පමණ වන විටදී අවසන් විය යුතු බවත්, මෙමස 20 වැනිදායින් පමණ පසු නිරිත දිග මෝසම ආරම්භ වන බවද ඔහු කියා සිටියේය.

ජූලි, අගෝස්තු, සැප්තැම්බර් දක්වා වර්ෂාපතනය අඩුවීම නිසා නියං තත්ත්වයක් උද්ගත වනු ඇතැයිද, මේ නිසා පානීය ජලය සපයා ගැනීමේදී සහ වාරිමාර්ග කටයුතුවලට ජලය සපයා ගැනීමේදී කළමනාකරණය කිරීම සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවද ඔහු කීවේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේය.

Aruna

Previous Post Next Post